නුවන් ජයසේකර –
අධික වේගයෙන් පැමිණි වෑන් රථයක රියදුරුට එම රථය පාලනය කරගත නොහැකිව කතරගම සෙල්ලකතරගම පස්සරයාය හන්දියේදී ඊයේ රාත්‍රියේ (28) සිදු වු අනතුරින් වෑන් රියේ ගමන් කළ තරුණයන් දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව කතරගම පොලිසිය පවසයි.
වෑන් රථය මාර්ගයේ නවතා තිබූ යතුරු පැදි දෙකක හා ලොරි රථයක ගැටී විසිවී ගොස් අසල තිබූ සියඹලා ගස් දෙකක වැදී නැවතී ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ අංක සී/29, නවනගරය, කතරගම ලිපිනයේ පදිංචි ඩිෂාන් කාවින්ද රණසිංහ, රෝහල පිටුපස, කතරගම ලිපිනයේ පදිංචි චානක ලක්ෂාන් නැමති දෙදෙනාය.
අනතුරින් තුවාල ලබා ඇත්තේ ගිහාන් මෝටර්ස් අසල, ගල්වල පාර කතරගම ලිපිනයේ පදිංචි සහන් රන්දික සමරජීව, සෙල්ලපාර, මයිලගම, කතරගම ලිපිනයේ පදිංචි චක්‍රින් චංග වන්සෙව්, අංක 6/1, කිරිවෙහෙර පාර, කතරගම ලිපිනයේ පදිංචි උඩහ කපුගෙදර රුසිරු ධනංජය හා අංක 03, වැඩසිටිකන්ද පාර, කතරගම ලිපිනයේ පදිංචි නම්බුකාර ගමගේ රවීන් විමුක්ති නැමති අයයි.
අනතුරින් මියගිය තරුණයන් දෙදෙනා සහ තුවාල ලැබූ තරුණයන් සියළුම දෙනා 26 හැවිරිදි වියේ පසු වූවන් බව කතරගම පොලිසිය කීවේය.
අනතුරට පත් වෑන් රථය සෙල්ලකතරගම දෙස සිට කතරගම දෙසට ධාවනය කරමින් තිබියදි රාත්‍රි 7.30ට පමණ මෙලෙස අනතුරට පත්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාව වන විට එහි රියදුරු ඇතුළු 26 හැවිරිදි වියේ පසු වු තරුණයන් හය දෙනෙකු වෑන් රථයේ ගමන් කර ඇති අතර අනතුරින් තුවාල ලබු දෙදෙනෙකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට තිබේ.
බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර සිටින තරුණයන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්වයද බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරී කේ.බී.කීර්තිරත්න ගේ උපදෙස් පරිදි කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.