කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරීන් වඳින වීඩියෝවක් ආරක්ෂක ලේකම් අතට

කංජිපානි ඉම්රාන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ඉන්න බූස්සේ සිර කුටියට ඉදිරියට ගොස් බන්ධනාගාර නිලධාරියකු ඔහුට වඳින ආකාරය දැක්වෙන කුඩා වීඩියෝවක් පසුගියදා තමන්ට දකින්ට හැකි වූ බවත් බන්ධනාගාර තුළ පවතින තත්ත්වය පිළිබඳව අප ලැජ්ජා විය යුතු බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පසුගියදා පැවැසීය.

කොළඹ පදනම් ආයතනයේදී හරිමග සංවිධානය විසින් සංවිධානය කරන ලද කොවිඩ් 19න් පසු ශ්‍රි ලංකාව පිළිබඳව වූ සමුළුවක ප්‍රධාන දෙසුම පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය. බන්ධනාගාරවල අපරාධකරුවන්ට අවශ්‍ය සියලුම පහසුකම් සලසා දෙන ක්‍රමවේදයක් පවතින බවත් ඔවුන් මෙම රැඳවියන්ට බන්ධනාගාර තුළට කාන්තාවන් ගෙන ඒම සහ ඔවුන්ට පිටතට ගොස් පැමිණීමට නොහැකි වීම හැර අන් සෑම දෙයක්ම කළහැකි බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර කියන්නේ අපේ රටේ ඔඩුදුවා ඇති ක්‍රියාවලියක්. පළවෙනිම දේ තමයි ආරක්ෂක ලේකම්වරයා හැටියට අවශ්‍යවෙලා තිබුණේ හරි දේ හරි තැනට යෙදවීම. කුඩු ජාවාරම්, අපරාධ, පාතාලය මෙහෙම යන්නේ කොහොමද කියන එක අපි අධ්‍යයනය කළා. අපිට පෙනී ගිය දේ තමයි මේ සියලුම දේ මෙහෙයවීම සිදුවන්නේ බන්ධනාගාරය ඇතුළෙත් කියලා. ඒ නිසා තමයි දරුණුම අපරාධකරුවන් වෙනුවෙන් ලංකාවේ කවදාකවත් මින් පෙර නොතිබුණ දැඩි ආරක්ෂිත සිරගෙයක් ඇති කළා. මීට අමතරව යුද හමුදාව යොදවලා දුරකථන ඇමතුම් අවහිර කරන ටෙලිෆෝන් ජෑමර්ස් සවි කළා බූස්ස කඳවුර පරිශ්‍රයම ආවරණය වන පරිදි. ඊට පස්සේ අපි අගුණකොළපැලැස්සේ ඒ විදියටම කළා. නමුත් අපි සිරකරුවන්ගේ නට් තදකිරීම විතරක් නෙවෙයි සුබසාධනය සඳහාත් දේවල් කරනවා. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච දරුවන් මත්කුඩු මුදලාලිලා වෙලා එන ඒක නවත්තන්නත් අපි දේවල් කරනවා.” යයිද ඔහු පැවසීය.


Exit mobile version