එහෙම අය ඉන්දියාවෙත් ඉන්නවා…. ජලාශයට වැටුණු ජංගම දුරකතනය ගන්න ජලය ලීටර් ලක්ෂ 21 හිස් කරපු ඉන්දියානුවාගේ කතාව!

මුට්ටියක් ඇතුළේ හිස හිර කර ගත් එළුවකුගේ ඔලුව පිටතට ගැනීමට එළුවාගේ බෙල්ල කපා මුට්ටිය බින්ඳ ජනප්‍රවාදයක් ඉතිහාසයේ සිට පැවතෙයි. ජලාශයකට වැටුණු තමන්ගේ ජංගම දුරකතනය බේරා ගැනීමට ජලාශයේ වතුර ලීටර් ලක්ෂ 21ක් හිස් කර අවසානයේ අකර්මන්‍ය වූ ජංගම දුරකතනය සොයා ගත් ඉන්දියානුවකු ගැන පුවතක් ඊයේ ඉන්දියාවෙන් වාර්තා වූයේ ඉහත ජනප්‍රවාදය නැවත සිහිගන්වමිනි.

තම මිල අධික දුරකථනය නැවත ලබා ගැනීම සඳහා ජලාශයකින් ජලය ලීටර් ලක්ෂ 21 ක් ඉවතට ගත් බව කියන රජයේ නිලධාරියෙකුගේ වැඩ තහනම් කර ඇති බව ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්තයෙන් වාර්තා වුනේය. ඔහු කියා සිටියේ ජලය “භාවිතයට නුසුදුසු” බවත්, ඔහු තම ජ්‍යෙෂ්ඨයාගෙන් මෙම ජලය ඉවත් කිරීමට  “වාචික අවසරයක්” ලබා ගත් බවත්ය.

වාර්තාවන පරිදි  සිද්ධිය මෙසේය.

කන්කර් දිස්ත්‍රික්කයේ කොයිලිබෙඩා බ්ලොක් හි ආහාර නිලධාරියකු වන රාජේෂ් විශ්වස් කර්කට්ටා වේල්ල අසල නිවාඩුවක් ගත කරමින් සිටියදී අහම්බෙන් රුපියල් ලක්ෂයක් වටිනා ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනය ජලාශයට වැටී ඇත. එය අඩි 15ක් ගැඹුරු ජලයට වැටී ඇති අතර ප්‍රදේශවාසීන් එය සොයා ගැනීමට උත්සාහ කළහ. උත්සාහය අසාර්ථක වූ විට, නිලධාරියා දින තුනක් අඛණ්ඩව ක්‍රියාත්මක වන hp 30 ඩීසල් පොම්ප දෙකක් ලබා ගත් අතර, ඔහුගේ දුරකථනය ලබා ගැනීම සඳහා ගොවිබිම් අක්කර 1,500 කට ජලය සැපයීමට ප්‍රමාණවත් ජලය ලීටර් ලක්ෂ 21 ක් හිස් කළේය.


මෙම පොම්ප සඳුදා සවස ජලය බැස යාමට පටන් ගත් අතර බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක විය. පැමිණිල්ලක් මත වාරිමාර්ග හා ජල සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් එම ස්ථානයට පැමිණ මෙහෙයුම නතර කළේය. කෙසේ වෙතත්, එය නතර කරන විටත් ජල මට්ටම අඩි හයක් පහළ බැස තිබුණි. ආසන්න වශයෙන් ලීටර් ලක්ෂ 21 ක් පොම්ප කර තිබුණි. මෙම ප්‍රදේශයේ ග්‍රීෂ්ම කාලවලදී පවා අඩි 10කට වඩා ගැඹුරු ජලය ඇති අතර සතුන් බොහෝ විට එයින් පානය කරයි.

රාජේෂ් විශ්වස් පැවසුවේ සෙල්ෆියක් ගන්නා අතරතුර ඔහුගේ දුරකථනය ඔහුගේ අතින් ගිලිහී ගිය බවත්, උපාංගයේ නිල දෙපාර්තමේන්තු දත්ත තිබූ බැවින් එය නැවත ලබා ගැනීමට සිදු වූ බවත්ය. කිමිදුම්කරුවන් එය සොයා ගැනීමට උත්සාහ කළ නමුත් මතුපිට පාෂාණමය බැවින් එය සිදු කිරීමට නොහැකි වූ බවත්, ජල සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ජලය කිසිවකට භාවිතා නොකරන  බව තමාට පැවසූ බවත්, ඒ නිසා එයින් කොටසක් පොම්ප කළ බවත් ඔහු පැවසීය.

“ඉරිදා මම යාළුවො කීප දෙනෙක් එක්ක වේල්ලට ගියා නිවාඩු දවසෙ එහෙ නාන්න. මගේ දුරකථනය භාවිත කළ නොහැකි ජලය පිටාර ගැලූ ටැංකි තුළට ලිස්සා ගියා. එය අඩි 10 ක් ගැඹුරුයි. ප්‍රදේශවාසීන් එය සොයා ගැනීමට උත්සාහ කළ නමුත් එය සාරථක වුණේ නෑ. අඩි දෙක තුනක් නොගැඹුරු නම් එය නිසැකවම සොයාගත හැකි බව ඔවුන් මට පැවසුවා. මම SDO ට කතා කරලා, එහෙම කරන එකේ ප්‍රශ්නයක් නැත්නම් ළඟ තියෙන ඇළට වතුර ටිකක් දාන්න දෙන්න කියලා කිව්වා. අඩි තුන හතරක් ගැඹුරට ජලය බැස ගියහොත් එය ප්‍රශ්නයක් නොවන බවත් ඇත්ත වශයෙන්ම වැඩි ජලය ඇති ගොවීන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවත් ඔහු පැවසුවා. අඩි තුනක් පමණ ජලය බැස යාමට ප්‍රදේශවාසීන්ගෙන් උදව් ලබාගෙන මගේ දුරකථනය නැවත ලබා ගත්තේ එබැවිනි, ”විශ්වාස් පැවසීය.

ගැඹුරු ජලයේ දින තුනක් පැවති දුරකථනය ක්‍රියා විරහිත වී තිබිණි.

හිටපු චතිස්ගාර් මහ ඇමති සහ භාරතීය ජනතා පක්ෂ නායක රමන් සිං, භූපේෂ් බගෙල්ගේ නායකත්වයෙන් යුත් කොන්ග්‍රස් ආණ්ඩුවට බැණ වැදුනේ, “ඒකාධිපති” ප්‍රාන්ත ආන්ඩුව යටතේ නිලධාරීන් රටේ සම්පත් ඔවුන්ගේ පාරම්පරික දේපලක් ලෙස සලකන බව පවසමිනි.

අධික උණුසුම් කාලගුණයක් සහිත කාලයක ජනතාව ජල ටැංකිවලින් යැපෙද්දී එක් නිලධාරියෙකු ජලය ලීටර් ලක්ෂ 21 ක් ඉවතට ගෙන ඇති බව ඔහු පැවසීය.

කවුද මේ රාජේෂ් විශ්වස්-

ඉන්දියාවේ නොව, ඕනෑම තූත්තුකුඩියක ඉන්නා ආහාර පරික්ෂකවරයෙක් වැනි සාමාන්‍ය නිලධාරියෙකුට අවශ්‍ය   හිතූ මතේ ජලාශයක ජලය හිස් කිරීමට බලයක් ඇත්තේ කෙසේ දැයි ඔබ කල්පනා කරනු ඇත.  හේතුව රාජේශ් විස්වස් එසේ මෙසේ ආහාර පරීක්ෂකයෙන් නොවන බව ඉන්දියාවෙන් එන ප්‍රවෘත්ති කියන්නේය.

කෝටිපති ආහාර පාලකයා…

ඔහු අසීමිත වත්කම් ප්‍රමාණයක් සම්බන්ධව හිමිකරුවෙකි.  සුඛෝප භොගී අධි මිල ගණන්වල වාහන පාවිච්චි කරන්නෙකි. දින කීපයකට පෙර ඉන්දීය රුපියල් මිලියන ගණනක් වටිනා මහේන්ද්‍රා තාර් වර්ගයේ නවීන ජීප් රථයක් මිල දී ගෙන තිබිණි. එහෙන්ම ඔහු මිල අධික යතුරුපැදියක පදින්නේය. අධික වියදම් දරමින් මිතුරන් සමග විනෝද චාරිකා සහ සාද පවත්වන්නේය. කාන්තාවන් වෙනුවෙන් වියදම් කරන්නේය. ඔහු පිස්තෝල භාවිතයට කැමැත්තක් දක්වන පිස්තෝල ප්‍රේමියෙක් බවත්, ඔහුට ඒ සඳහා බලපත්‍රයක් ඇති බවත් කියැවැනි. පිස්තෝලය රඳවාගෙන ඔහු ගත් ඡායාරූප ගණනාවක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිනුමේ පල කර තිබිණි.  ඉන්දියානු රුපියල් මිලියන ගණනක් වටිනා අත් පළදනා සහ මාල ඔහු ගෙල වටා දවටාගෙන ඇත්තේය. දැන් වතුර හින්දවූ රාජේෂ් ගැන ඉන්දියාව අලුතින් ප්‍රශ්න කිරීමට පටන් අරන් තිබේ.

ආහාර පරීක්ෂක රැකියාවෙන් මේ තරම් වත්කම් ප්‍රමාණයක්, මේ තරම් බලයක් මේ පුද්ගලයා උපයා ගත්තේ  කෙසේද?…. ඒ ප්‍රශ්න ඔවුන් විසඳගත්තාවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජේෂ් ජලාශයක් හිස් කරන්නේ තමන්ගේ  ජංගම දුරකථනය  සොයා ගන්නටය. අපේ රටේ  පහුගිය කාලය තුළ හිටියේම රාජේෂ් විශ්වස් ලාය.  උන් උන්ට නැතිවෙන දේ ලබා ගන්නට මේ රටේ භාණ්ඩාගාරයම හින්දවා රට බංකොළොත් කළහ. අපේ රටේ පමණක් නොව, ඉන්දියාවේත් මේ ජාතියේ උන් ඉන්න බව කියන්නට මේ සටහන තබන්නේ මෙය කියවා හිත හදා ගන්නටය.

 

Exit mobile version