එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…

දිනසේන රතුගමගේ –

යාපනය පේදුරුතුඩුව වල්ලිපුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ වෙඩි තැබීම් මධ්‍යයේ පලා ගිය කැබ් රථය පේදුරුතුඩුව පොලීසිය විසින් යාපනයේ  නෙල්ලිඅඩි තුන්නාලේ ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී අත් අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව  තුවාල කරුවන් දෙදෙනාද කැබ් රථය පදවා ගෙන ගිය බවට සැකකරන පුද්ගලයෙකුද අද (17) පේදුරුතුඩුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පේදුරුතුඩුව ප්‍රදේශයේ පිහිටි ස්වභාවික වැලි නිධියක් ආරක්ෂා කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් එම වැලි නිධිය පිහිටි ප්‍රදේශයේ සිට පැමිණි කැබ් රථයක් නැවැත්වීමට උත්සහ කල අවස්ථාවේදී එය නොනවත්වා ධාවනය කරවීම නිසා කැබ් රථයට වෙඩි තබනු ලැබීය.


නිලධාරීන්ගේ වෙඩි පහරවල් හා මාර්ගයේ වාහනය නැවැත්වීමට යොදා තිබූ ඇන ලෑලිද නොතකා කැබ් රථය ධාවනය වීම නිසා එහි ටයර් වල හුලං බැස ගොස් තිබුණද කැබ් රථය නොනවත්වාම ධාවනය කොට තිබුණි.

ස්වල්ප වේලාවකට පසුව වෙඩි වැදීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයින් දෙදෙනෙකු පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබූ අතර පොලිස් පරීක්ෂණ වලදී ඔවුන් දෙදෙනා කැබ් රථයේ ගමන් කළ දෙදෙනෙකු බවට තහවුරු වීමෙන් පසුව අධිකරණ නියෝග මත ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සැකකරුවන් දෙදෙනා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන අතර පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය පිලිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version