එන්නත් මදි… මිනිස්සුන්ගෙන් ගුටි නොකා බේරෙන්න සීදුවේ දී පී.එච්.අයි. ලාට පැන යන්න සිදුවෙයි…

එන්නත් ලැබී නැත. එහෙත් එන්නතක් බලාපොරොත්තුවෙන් මහ වැස්සේ පෝලිම් ගැස සිටින මිනිස්සු...

ප්‍රමාණවත් පරිදි එන්නත් නොලැබීම නිසා ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු කරමින් ඇති එන්නත් කිරීම් මුලුමනින්ම අර්බුදකයකට ගොස් ඇති බවත් කුපිත වූ ජනතාව   එන්නත්කරණ වැඩසටහනක් සංවිධානය කළ සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට  පහර දීමට සූදානම් වීම නිසා  ඊයේ (12) සිය යතුරුපැදි කාර්යාලයේ දමා වෙනත් වාහනවල නැගී ඔවුන්ට රහසේ  පලායන්නට සිදු වූ බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී කුලතිලක ලංකාසරට  පැවසීය.

මේ වනවිට කඳාන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සංවිධානය කර ඇති එන්නත් මධ්‍යස්ථානයට ප්‍රදේශයේ ගුරුවරුන් 700ක් ගෙන්වා එන්නත් කිරීමට සැලසුම් කරන ලෙස දුන් උපදෙස් මත එය   සංවිධානය කළත් තවමත් එක එන්නතක්වත් ලැබී නැති බව ඔහු පවසයි.

“ මිනිස්සු මහ වැස්සෙ කුඩ ඉහළගෙන දැනුත් පෝලිමෙ… කිලෝ මීටරයක් විතර දිගට පෝලිම.  අදට දෙනවා කිව්වා එක එන්නතක්වත් තවම ලැබිලා නෑ.“


“ඊයෙ 4000කට එන්නත් දෙන්න ලෑස්ති කරන්න කිව්වා. අපට ලැබුණෙ එන්නත් 2400යි. මිනිස්සු බැණ බැණ ගියා. බලධාරීන් අපට කියනවා. අපි සංවිධානය කරනවා. මිනිස්සු එනවා. ඔවුන්ගෙ ආවේග යන්නෙ අපේ පිටින්. අපි අන්තිම අසරණයි.“ උප සභාපතිවරයා පැවසුවේය.

ඊයේ සීදුවේ දී ප්‍රහාරයට ලක්වීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ අත්දැකීම  මේ අර්බුදයේ තරම පෙන්වා දෙන්නක් බව සෞඛ්‍ය අංශ කීවේය.

“ බෙහෙත් විදින්න සැලසුම් කරලා තිබුණෙ රද්දොළුව සහ කෝවින්න ප්‍රදේශවල අයට.  3000කට ලෑස්ති කරන්න කිව්වා. මිනිස්සු 3000ක් විතර පොලිමෙත් හිටියා. අපිට ලැබුණෙ 1200යි.

අපි කියලා යැව්වා බෙහෙත් මදි කියලා. තව 900ක් දෙන්නම් කිව්වා හවස එකට කලින්. නවසීය ටිකකින් 600 උනා. බෙහෙත් ආවෙ නෑ. ආයෙ පණිවිඩයක් ආවා දෙන්න පුලුවන් 400ක් කියලා. ඒක ගන්න ගියාම එව්වෙ එන්නත් 200යි. ඒ වෙනකොටත් මිනිස්සු 1000ක් විතර පෝලිමේ. ඒ අයත් ආවේගෙන්…

මිනිස්සු අපිව වටකරගත්තා. තර්ජන කරන්න ගත්තා. බයිසිකල් ටික ක්ලිනික් එකෙන් දාලා වෙන වාහනවල නැගලා රහසින් පැනගත්තෙ…. අද  (13) බෙහෙත් ඇවිත් නෑ. එම්.ඕ.එච්. එකේ.  පන්සියකට වඩා පෝලිම.“ සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලංකාසරට පැවසීය.

එන්නත් 8000ක් ගම්පහට ලබා දී ඇති බවත් දැන් ගබඩාවල එන්නත් නැති බවත් ඒ හේතුවෙන් ගම්පහ එන්නත් කරණය අද නවත්වා ඇති බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචි මාර්ග කීවේය.

“ ඊයේ රත්නාවලිය ඉස්කෝලෙ ලඟ, ගම්පහ නගරසභාවෙ, ගණේමුල්ලෙ ගලහිටියා මධ්‍යමහා විද්‍යාලය ලඟ එන්නත් කිරීම් කළා. එන්නත් මදි වෙලා 2000ක් විතර ආපහු යැවුවා… මිනිස්සු මරාගන්න ආවෙ නැති ටික විතරයි…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචි මාර්ග කීවේය.

 

 

Exit mobile version