එජාපය හැරගිය අය ආපසු ගන්න රහස් සාකච්චා

එක්සත් ජාතික පක්ෂය හැරගොස් විපක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබලයින් රැසක් නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවීමට මේ වනවිට රහස් සාකච්ඡා ආරම්භ වී ඇත.

මේ වනවිට එජාපය සමග එකතු වන අය අතර ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සිටින අතර සමගි ජනබලවේගයේ ද මන්ත්‍රීවරු පිරිසක් සිටින බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

එජාපය හැරගිය සියලු දෙනා නැවත පක්ෂයයට එකතු කරගත යුතු බවට කෘත්‍යාධිකාරි මණ්ඩලය ද අනුමත කර තිබෙන අතර ඒ අනුව පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන්‌ මෙම රහස් සාකච්ඡා ආරම්භ වී තිබේ. ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු මන්ත්‍රීවරු හා පසුගිය මැතිවරණවලට ඉදිරිපත්ව පරාජයට පත්ව සිටින අය මෙන්ම දිස්ත්‍රික් මට්ටමේ සිටි ක්‍රියාකාරීන් නැවත පක්ෂයට ගැනීමේ වැඩපිළිවෙළක් හරහා මොවුන් සමග සාකච්ඡා ආරම්භ කොට තිබේ.


සමගි ජනබලවේගය පක්ෂයක් ලෙස එජාපය සමග එක් නොවන්නේ නම් එය නියෝජනය කරන විශාල පිරිසක් එජාපය සමග එකතු වන බව පසුගිය දා පැවැති සාකච්ඡාවකදී එකඟතාව පළව ඇතැයි ඉහත ආරංචි මාර්ග පවසා තිබේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ වෘත්තීය සමිති, භික්ෂු සංවිධාන, බහුජන සංවිධාන සහ සුලු දේශපාලන පක්ෂ නායකයින් සමග ද මේ වනවිට සාකච්ඡා වට කිහිපයක් ම පවත්වා තිබේ.

මේ සම්බන්ධව ලංකාසර කළ විමසුමකදී එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කියාසිටියේ එජාපය හැරගිය සියලු දෙනා පමණක් නොව ආණ්ඩුවේ සිටින ප්‍රබලයින් කිහිප දෙනෙකු සමගද සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එජාපය හැරගොස් සිටින ශාඛා සමිතියේ සාමාජිකයාගේ සිට වත්මන් දේශපාලනයේ සිටින ඉහළම අය පවා එක්සත් ජාතික පක්ෂය වටා නැවත එක්කර ගැනීම පුළුල් වූ වැඩපිළිවෙළක් බවත් එහි මූලික සාකච්ඡා මේ වනවිට සාර්ථක මට්ටමකට පැමිණ ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Exit mobile version