එක්ස්ප්‍රස් පර්ල් සුන් බුන් ඉවත් කිරීම නිරිත දිග මෝසමින් පසු…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ වරායට නුදුරින් ගිනි ගෙන ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නැවේ සුන්බුන් ඉවත් කිරීම නිරිතදිග මෝසම් සමය අවසන් වූ වහාම ආරම්භවන බව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකාරිත්වය පවසාඇත.

පවතින මෝසම් සමය තුළ සුන්බුන් ඉවත් කිරීමේ ප්‍රායෝගික නොහැකියාවක් ඇති බවත්, නිරිතදිග මෝසම් සමය ජූනි මාසයේ සිට සැප්තැම්බර් දක්වා පවතින නිසා එම කාල සීමාවෙන් පසු එම කටයුත්ත සඳහා ඉඩකඩ සැලසෙන බවත් සිංගප්පූරුවේ එම හිමිකාර සමාගම තහවුරු කර ඇත.

පරිසර දූෂණය අවම කිරීමට සුන්බුන් පිහිටි පරිසරයේ තත්වය විශේෂඥයන් පිරිසක් මගින් දෛනික නිරීක්ෂණයකට ලක්වනබව ඔවුහු පැවසූහ.

මේ වනවට නෞකාව මීටර 21 ගැඹුර මුහුදු පත්ලෙහි තැන්පත් වී ඇත.
නෞකාවෙන් අලු පැහැති ද්‍රාවනයක් පිටවන ආකාරය නිරීක්ෂණයවන බවත්, නෞකාවේ සුන්බුන් හා ඒ අවට ප්‍රදේශයේ මුහුද තවමත් දුර්වර්ණ වෙමින් පවතින බවත් වාර්තා වේ.

යාත්‍රාවම ජලයෙන් යටවූ දා සිට මෙය පැහැදිලිවම පෙනෙන අතර එහි තිබූ බහාලුම් 1486හි ඇති භාණ්ඩවල අවශේෂ මුහුදට නිරාවරණය වීමත් සමග මේ තත්වය ඇති වී තිබේ.

ඉන්ධන කාන්දුවක් ඇතිවුවහොත් ඒ පිලිබඳව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා පවතින තත්වයන් යාවත්කාලීන කරමින් අධීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.

ඊට අමතරව අනෙකුත් යාත්‍රාවලට අනතුරු ඇඟවීම සඳහා නාවික අනතුරු ඇඟවීමේ විදුලි පහන් පිහිටුවීම සහ සුන්බුන් මත ආරක්ෂක සලකුණු සවි කිරිම් සඳහා සැලසුම් කර ඇත.

නැංගුරම් පොළේ ගිලී ඇති බහාලුම් හෝ සුන්බුන් සෙයා ගැනීමට සොනාර් යන්ත්‍ර භාවිත කරන බව ද නෞකා සමාගම පැවසීය.



Exit mobile version