ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව යළි දෙසැම්බර් මස 05 වැනිදා කැඳවන ලෙස අද දින නියම කළේය.
නඩුව මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු සුජීව නිශ්ශංක පැවසුවේ පුරප්පාඩුව පවතින සෙසු විනිසුරු ධූර සඳහා විනිසුරුවරු මෙතෙක් නම් කර නොමැත බවය.
එම පුරප්පාඩු විනිසුරු ධූර සඳහා කඩිනමින් විනිසුරුවරුන් පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළ විනිසුරුවරයා එතෙක් නඩුව දෙසැම්බර් මස 05 වැනිදා දක්වා කල් තැබුවේය.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලාධාරී ශම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබිණි.
නඩුව කැඳවු අවස්ථාවේ දී ඔවුන් විවෘත අධිකරණයේ පෙනී සිටියේය. 2010 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී ගිරිතලේ හබරණ සහ කොට්ටාව යන ප්‍රදේශවල දී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණින් ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම සහ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.







