ඌවතැන්නේ හිමියන් බේරාගත් හැටි ගැන මන්ත්‍රී ඩයනා කියයි

ජීවිතාන්තය දක්වා සිරගත කර සිටින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස උන්වහන්සේගේ මෑණියන් හැඬූ කඳුළෙන් පැමිණ තමන්ගෙන් කළ ඉල්ලීම අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හෙට අනිද්දා උන්වහන්සේට නිදහස ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය ලංකාසරට පැවසුවාය.

තමන් සමග ජන සමගි ජනබලවේගයේ සිටින කාලයේදී මෙම ඉල්ලීම සිදු කළ බවත් ඒ අනුව පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි නිදහස් කිරීමට අවශ්‍ය සියළුම ලිපි ලේඛන මේ වන වනවිට සකස් කර තිබෙන බවත් ගමගේ මහත්මිය අනාවරණය කළාය.

පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි නිදහස් කර ගැනීම සම්බන්ධව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ගත් උත්සාහය පිළිබඳව ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමින් ඇය තවදුරටත් මෙසේද පැවසුවාය.


“2010 ජනාධිපතිවරණයේ දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරවීමට පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් විශාල කැපවීමකින් වැඩ කොටසක් බාරගෙන කටයුතු කළා. උන්වහන්සේ නිරතුරුවම අප සමග සම්බන්ධ වී විවිධ අයුරින් අපට උදව් කළා. කිසියම් සිද්ධියක් මත උන්වහන්සේට ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට අධිකරණය නියෝග කළා. නමුත් එම සිදුවීමට අදාල අනිත් සියලු දෙනා නිදොස් කොට නිදහස් කළා. එතැන් සිට උන්වහන්සේගේ විහාරස්ථාන භික්ෂුන් වහන්සේලා සහ මෑණියන්ට විවිධ දුක් ගැහැටවලට මුහුණ පෑමටද සිදුවුණා. ඒ සෑම අවස්ථාවකදීම මම ඒ අය සමග හිටියා.

පූජ්‍ය ඌවතැන්නේ හිමි සිරගත කළ පසු උන්වහන්සේගේ මෑණියන් දැඩි ලෙස අසරණ උනා. එතෙක් එතුමිය බලා කියා ගත්තේ සුමන හිමිපාණන් විසින්මයි. නමුත් උන්වහන්සේ සිරගත උනාට පස්සේ ඇය බලා කියා ගැනීමට කිසිදු පාර්ශවයකට හැකිවුණේ නැහැ. සුමන හිමියෝ නිදහස් කර දීමට මැදහත් වන ලෙස අප හමුවට පැමිණ ඇය හඬා වැලපුණා. අම්මා කෙනෙක් ලෙස මටත් එය දරාගත නොහැකියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මගෙන් කළ ලිඛිත ඉල්ලීම මා ප්‍රථමයෙන්ම සමගි ජනබලවේගයේ සිටි කාලයේ දී අගමැතිවරයා වෙත බාර දුන්නා. ඉන්පසු ඉන් පසු ජනාධිපතිවරයා සමඟ ඒ ගැන සාකච්ඡා කළා. ඒ අනුව පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි ජනාධිපති සමාව යටතේ නිදහස් වේවි. මෙහිදී අහිංසක අසරණ මෑණියන්ගේ සතුට තමා මට තිබෙන ආත්ම ශක්තිය. මේ කටයුත්තට දායක වූ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් අනෙකුත් සියලු පාර්ශවයන්ටත් පිං සිදු වෙනවා” යැයි ද ඇය වැඩිදුරටත් කීවාය.

Exit mobile version