උසස් පෙළ ශිෂ්‍යත්ව විභාග දින ගැන අවසන් තීරණ තවමත් ඩලස් අතේ

ටියුෂන් පන්තියක සිසුන් 500ට වැඩි කරන හැටිත් සොයා බලනවා... කැබිනට් ප්‍රකාශක බන්දුල කියයි.

උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පවත්වන නිශ්චිත දින වකවානු සහ විභාග පැවැත්වෙන ආකාරය පිළිබඳව ගුරුවරුන් පළාත් අධ්‍යාපන බලධාරීන් ශිෂ්‍යයන් සහ විභාග බලධාරීන් ඇතුළු සියලු බලධාරීන් සමඟ සාකච්ඡා කොට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අවසන් තීරණය දැනුම් දෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය. අද (25) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඊයේ ( 24) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අගමැතිවරයා මෙන්ම බොහෝ අමාත්‍යවරුන්   අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් විමසා ඇති අතර නිශ්චිත දින වකවානු පිළිබඳව ඔවුන්  සමඟ සාකච්ඡා කොට දන්වන ලෙස කැබිනට් මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද මෙහිදී කැබිනට් ප්‍රකාශකවරයා  පැවසීය.

එසේම උසස් පෙළ විභාගය ඉලක්ක කරගෙන උපකාරක පන්ති මහා පරිමාණ ආකාරයෙන් පවත්වන ගුරුවරුන්ට තම සිසුන් ප්‍රමාණය සියයකට සීමා කිරීම ගැටලුවක් බව ද ඔවුන් විසින් දැනුම් දෙනු ලැබ ඇති බව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බවත් ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරියට මේ සම්බන්ධයෙන් සොයා බලා නව මඟපෙන්වීම් උපදෙස් ලබා දීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටි බවද අමාත්‍ය ගුණවර්ධන මෙහිදී අනාවරණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට  මැතිවරණ සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව දේශපාලන පක්ෂ නායකයකු සහභාගී වන රැස්වීමක් සඳහා පන්සියයක උපරිමයක් සහභාගී විය හැකි බවට උපදෙස් දී ඇති බැවින් මෙවැනි මහා පරිමාණ උපකාරක ටියුෂන් පන්ති සඳහා ද එවැනි සීමාවක් ලබා දීමේ හැකියාව සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට දැන් වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන  ප්‍රකාශ කළේය.

Exit mobile version