දිනසේන රතුගමගේ –
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) දේශපාලන කමිටු නායකයා ලෙස එම පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා පත් කිරීමටත් තවත් වෙනස්කම් රැසක් සිදු කිරීමටත් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ ( 28 ) වවුනියාවේදී තීරණය කොට තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ වවුනියාවේ පිහිටි කාර්යාලයේදී මධ්‍යම කාරක සභා රැස්වීම මුලු දවස පුරාම පැවති අතර එහිදී ගත් තීරණ කීපයකට විරෝධය පලකරමින් එම පක්ෂයේ සිවමෝහන් හිටපු මන්ත්‍රීවරයා සාකච්ඡාවෙන් ඉවත්ව රැස්වීම් ශාලාවෙන් පිටව යන ලදී.
එම පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා මීට ඉහතදී පක්ෂය වෙත ලිපියක් යොමු කරමින් තමන් කාලයකට පක්ෂයේ ක්‍රියාකාරී කටයුතු වලින් ඉවත් වන බව ප්‍රකාශ කොට තිබූ අතර වවුනියාවේදී මෙවර පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම ලිපිය බල රහිත කිරීමට තීරණය කරණු ලැබීය.
ඒ අනුව පක්ෂයේ දේශපලන කමිටුවේ නායකයා වශයෙන් මාවෙයි සේනාධිරාජා ද එම තනතුරේ උප නායකත්වය උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ ශිවඤාණම් වෙතද ලබා දී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හැටියට එම්.ඒ.සුමන්තිරන්ම තෝර පත් කරගෙන ඇත.
පසුගිය ජනාධිපතිවරාන්යේදී හා මහ මැතිවරණයේදී පක්ෂය අතහැර ගොස් වෙනත් දෙමළ දේශපාලන පක්ෂවලින් මැතිවරණඅවලට ඉදිරිපත් වූ අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ යෝජනාවක්ද වවුනියාවේදී සම්මත වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායකයා වශයෙන් තවමත් කිළිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කටයුතු කරණ අතර ඔහු මේ දිනවල යුරෝපයේ සංචාරය කරන බැවින් මධ්‍යම කාරක සභා වාරයට සහභාගී වී නොමැත.
මන්ත්‍රීවරයා යළි පැමිණෙන තුරු පක්ෂයේ වැඩ බලන නායකත්වයද මෙහිදී මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීරීවරයා වෙත පැවරී තිබේ.
නමුත් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේදී හක්ගෙඩියෙන් ඡන්දය ඉල්ලා සිටි අරියනේත්‍රම්ට සහය දීම නිසා ඔහුවද පක්ෂයෙන් ඉවත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
වන්නියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සිවමෝහන් වෛද්‍ය වරයාටද එම චෝදනාවම එල්ල වූ අතර ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කාලයක් ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට ඉඩ නොලැබුණු නිසා ඔහු මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පිටව ගොස් තිබේ.







