ඉබාගාතේ ගිය පොලිස් උණ්ඩයකින් අවසන් ගමන් ගිය ලන්ඩන් සරසවියේ උපාධි ධාරිණිය!

ඉරේෂා මිය ගොස්ය.  ඉබාගාතේ යන පොලිස් වෙඩිල්ලක් ඇයගේ ජීවිතය රැගෙන ගොස්ය. ඊයේ දවස පුරාම ඉරේෂාගේ සිරුර තිබුණේ වතුපිටිවල රෝහලේය.

ඉරේෂා ශාමලී අනපේක්ෂිත මරණයට ගොදුරු වන්නී දංඕවිටදීය. දංඕවිට මත්පැන් හලක් කඩන්නට ගිය කොල්ලකරුවන් පිරිසකට හඹා ගොස් වෙඩි තැබූ පොලිස් වික්‍රමය නිමා වී ඇත්තේ අසරණ ජීවිතයක් අහිමි කරමිනි.

ගලෙන්බිඳුණුවැව සිට  කොළඹට පැමිණෙන බස් රථයක    පසුපස අසුනේ දකුණු කෙලවරේ ජනේලය අසල වාඩි වි සිටි ඇය ඉබාගාතේ ගිය පොලිස් වෙඩි පහර වැදී එතැනම මැරී වැටී සිටියාය.

ඉරේෂා ශාමලී  මේ රටට බලාපොරොත්තුවක් ගෙනා යෞවනියකි. ඇය 29 හැවිරිදි වූවාය. බෙන්තර හබුරුගල පදිංචිව සිටි ඉරේෂා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ධාරිණියක්ව සිටියාය.


ඇය සිටියේ කැනඩාව බලා සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙනි. සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ රැකියා අවස්ථාවක් ඇයට විවර වී තිබුනු බව කියැවිනි.

ඒ ගමනට පෙර කිරිබත්ගොඩ වෙසෙන ඔහුගේ සොයුරාත්, සොයුරාගේ  බිරියත් සමග ඇය අනුරාධපුරයට ගොස් පූජාවකට සහභාගී වී එමින් සිටිය දී මේ පොලිස් වෙඩි පහරට ඇය ලක් විනි.

“අනේ කෙල්ල අනුරාධපුරේ ගියෙ පූජාවකට. පුතායි එයාගෙ නෝනයි එක්ක ගිහින් තිබුණෙ.  රතිඤ්ඤා පත්තුවෙන සද්දයක් වගේ එකක් ඇහිල බලනකොට මගෙ දුව වැටිලා ඉන්නවා පුතා දැකලා…“ ඉරේෂා ශාමලී  ගේ අම්මා ඉකි ගසමින් කීවාය.

දංඕවිට පොලිසියේ ජංගම මුර රථයෙන් පැමිණි පොලිස් වෙඩික්කරුවන් කළ හරිය අහිංසක ජීවිතයකින්  කියවාගැනීමට ඉඩ හැර ඇත.

මෙවැනි සිදුවීම් අරභයා කියැවෙන පොලිස් වෙඩික්කරුවන් සම්බන්ධව අපට ඇති  පළමු අත්දැකීම මෙය නොවේ.  පොලිස් ඉලක්ක ඒ තරම් සුපිරිය. හරියට වෙඩි පාරක් කා මැරෙන්නේ ආයුධ හොයන්නට ගොස් පිටපතට අනුව මැරෙන එකෙක් පමණි.

මේ සිද්ධිය අපට යළිත් කියන්නෙ ලඟම ඉන්න එකෙකුට ලඟට ගොස් වෙඩි තබන්නට ඉඩක් නැතිනම්  පොලිසිය එක්කෝ වෙඩි නොතබා සිටිය යුතුය. නැතිනම් ගිනි අවි සහිත පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට ඉගැන්විය යුතුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ නොවන තාක් කල් ගිනි අවියක් සහිතව සිටිනා පොලිස් නිලධාරියෙක් අසල ගැවසීම ආරක්ෂාව පිළිබඳ හැඟීමක් නොව මරණය පිළිබඳ බියක් ඇති කරවීමට සමත් වනු ඇත.

 

 

Exit mobile version