ඉඳුරුව රෝහල් කාර්ය මණ්ඩලයේ 05ක් රාජකාරි වෙලාවේ නිල ඇඳුමින්ම ගිලන් රථයක නැගී පේන අහන්න ගිහින්!

පේන අහන්න ගිය ගිලන් රථය...

ජයකාන්ත ලියනගේ – 

රාජකාරී වේලාව තුළ නිල ඇදුමින්ම  ඉදුරුව රෝහලේ ගිලන් රථයේ නැගී  රෝහලේ හෙද කාර්යය මණ්ඩලයේ පස් දෙනෙක්  කිලෝමීටර 40 ක් පමණ දුරින් ඇති සාස්තර මඩුවක   පේන ඇසීමට යෑමේ සිද්ධියක් සම්බන්ධව විධිමත් පරික්ෂණයක් ආරම්භ කල බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය අද (24) ප්‍රකාශ කළේය. 

පසුගිය 18 වන සිකුරාදා පෙරවරුවේ අම්බලන්ගොඩ බටපොල, නින්දාන පාසල අසල ඇති පේන කියන සාත්තර මඩුවක වෙත කිලෝ මීටර 40ක් දුර ගෙවා රෝහලේ ගිලන් රථයෙන් මෙම පිරිස පැමිණ තිබුණු බවත්, ගිලන් රථයකින් පැමිණ නිල ඇඳුමින් සැරසුන සෞඛ්‍ය සේවක කණ්ඩායමක් රාජකාරි වෙලාවේ පේන ඇසීමේ අසාමාන්‍ය තත්ත්වය බලන්නට පැමිණි    ගැමියන් සහ මෙම  කණ්ඩායම අතර නොසන්සුන් තාවයක් ඇති වී තිබුණු බවත් වාර්තා වේ. 

ප්‍රදේශවාසීන් ගිලන් රථයේ සහ එහි පැමිණි අයකුගේ ඡායාරුප හා වීඩියෝ දර්ශන ලබා ගැනීමට කටයුතු කර තිබේ.

ගිලන් රථයේ රියදුරුගෙන් ප්‍රදේශවාසීන් කරුණු විමසීමේ දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ නින්දාන පාසලට බෙහෙත් ද්‍රව්‍යය තොගයක් ප්‍රවාහනය කල බව යැයිද ප්‍රද්ශවාසීහු කියති. 


නින්දාන මහා විද්‍යාලයේ විදුහල්පති ජී එච් අයි පොන්සේකා ගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඇය ප්‍රකාශ කළේ නින්දාන පාසලට ඔය කියන දවසෙ කිසිම ගිලන් රථයකින් බෙහෙත් ද්‍රව්‍යය හෝ වෙනත් කිසිවක් රැගෙනවිත් භාර නොදුන් බවය.

ගිලන් රථය භාර ඉදුරුව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ප්‍රසන්න විජේසිංහ ගෙන් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේයෙක් කළ කරුණු විමසීමේ දී  ‘තමුසෙ කොහොමද? පාරේ තියෙන වාහන ජායාරූප හා විඩියෝ ගත කරන්නේ යනුවෙනි. රෝහලේ වාහන රාජකාරිවලට තමයි යන්නෙ, තමුසේ තමුසෙගෙ වැඩක් බලාගෙන පාඩුවේ ඉන්නව ඕයි’ යනුවෙන් ද වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත.  මේ සම්බන්ධයෙන්ද දකුණු පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂවරයා වෙත කරුණු ඉදිරිපත් වී තිබේ. 

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග  ප්‍රකාශ කළේ රෝහලක ගිලන් රථයක් භාවිතා කල හැක්කේ රෝහලේ සේවය සඳහා ම පමණක් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“සාත්තර කියන ස්ථාන වලට පේන ඇසීමට යන්න ගිලන් රථයක් භාවිතා කිරීම මොන පදනමකින්වත්  අනුමත කරන්න බෑ.  මෙවැනි ගමන් යෑම බරපතල වරදක්. ඊට අදාලව උපරිම අන්දමින්  නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට   කටයුතු කරනවා.“ ඔහු වැඩිදුරටත් කීවේය. 

 

Exit mobile version