ඉන්දීය ධීවර කොල්ලය වළක්වා ගැනීමට උතුරේ දේශපාලකයන් එක්සත් ජාතීන්ගේ සහාය පතයි!

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුදට පැමිණ මසුන් මැරීම නිසා දැනට ඇති වී තිබෙන ප්‍රශ්න හා ගැටලු විසදීම සදහා වහාම මැදිහත් වන ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රීවරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරිය වන හානා සිංගර් මහත්මියගෙන් ඊයේ  (1 ) ඉල්ලීමක් කොට තිබේ.

දෙදින නිල සංචාරයක් සදහා යාපනයට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය හමු වූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්   ඇතුලු පිරිසක් ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නය නිසා උතුරේ ධිවර ජනතාවගේ සාමාන්‍ය එදිනෙදා ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වී ඇති බවයි.

ඉන්දීය ධීවරයින් සමග උරණ වී සිටින උතුරේ ධීවරයින් යම් යම් දරුණු ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට ඉඩ ඇති බවත් එය එසේ වුවහොත් එම ධීවරයින්ට අනවශ්‍ය ආකාරයට දුක් ගැහැට විදීමට සිදුවන නිසාත් එක්සත් ජතීන්ගේ සංවිධානය මැදිහත් වී මේ ධීවරයින් ආරක්ෂා කොට දිය යුතු බවත් පක්ෂයේ නියෝජිත පිරිස  පෙන්වා දී තිබේ.


සාගර නීතිය පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉතා හොද අවබෝධයක් ඇති නිසා ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ උතුරු මුහුද ආක්‍රමණය කරමින් සිදු කරණ මෙම ක්‍රියාවලිය ඉන්දියාව දැනුවත් කොට නවතාලීමට  එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකි නිසා වහාම ඊට මැදිහත් වන ලෙසද ඔවුන් ඉලීමක් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැයක පමණ කාලයක් මේ කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව  දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කරණ ලද ඉල්ලීම් ඇතුළත් සංදේශයක්ද එම සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරිය වෙත බාර දී තිබේ.

 

Exit mobile version