ඉන්දීය ධීවරයාගේ මළ සිරුර නාවික හමුදාව ඉන්දියාවට භාර දෙයි!

දිනසේන රතුගමගේ –

උතුරු ප්‍රදේශයේ කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ කරෙයිනගර් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටියදී ඔවුන්ගේ යාත්‍රාව අනතුරට පත්වී මියගිය ඉන්දීය ධීවරයාගේ මළ සිරුර පරීක්ෂණ කටයුතු වලින් පසුව ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් මාර්ගයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, අන්තර් ජාතික මුහුදු සීමාවේදී 23 දා ඉන්දියාව වෙත බාර දී තිබේ.

ඉන්දීය ධීවරයින් තුන් දෙනෙකු බෝට්ටුවකින් මසුන් මරමින් සිටියදී  ඔවුන්ගේ යාත්‍රාව අනතුරට පත්වී එක් ධීවරයෙකු මුහුදට වැටී අතුරුදහන් වූ අතර තවත් දෙදෙනෙකුගේ  ජීවිත නාවික හමුදාව විසින් ගලවා ගෙන තිබුණි.

මේ සිද්ධියේදී 30 හැවිරිදි එම්.රාජ්කිරාන් නැමති ධීවරයා මියගොස් සිටි අතර නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් විසින් ඔහුගේ මළ සිරුර සොයා ගෙන යාපනයේ තෙලිප්පලෙයි රෝහල වෙත බාර දෙනු ලැබිය.


පසුව එම ධීවරයා සම්බන්ධයෙන් රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ඔහුගේ මළ සිරුර කයිට්ස් අධිකරණයේ නියෝගයක් මත ඉන්දියාවට බාර දීමට තීරණය කෙරුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරට පත් බෝට්ටුවේ සිට නාවික හමුදාව විසින් දිවි ගලවා ගන්නා ලද අනෙක් ඉන්දීය ධීවරයින් දෙදෙනා කයිට්ස් පොලීසිය වෙත බාර දී තිබේ. 

Exit mobile version