ඉන්දීය ධීවරයන් 53 නිදහස් කළ අයුරින්ම ඉන්දීය අත්අඩංගුවේ ඉන්නා ලාංකික ධීවරයින් 43 නිදහස් කරන්න…

TNA මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ඉන්දීය මහකොමසාරිස්ගෙන් සහ ආණ්ඩුවේ වගකිවයුත්තන්ගෙන් ඉල්ලයි...

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකා රජය  ඉන්දීය ධීවරයින් 53 දෙනා කඩිනමින් නිදහස් කළ ආකාරයටම දැනට ඉන්දීය බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකික ධීවරයින් 43 දෙනා හා ඔවුන්ගේ යාත්‍රා වහාම නිදහස් කරවා ගැනීමට පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ඊයේ ( 30 ) රජයේ සියලුම වග කිවයුත්තන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට තිබේ.

මන්නාරමේ පිහිටි මන්ත්‍රීවරයාගේ කාර්යාලයේදී මේ බව සදහන් කළ ඔහු කියා සිටියේ ධීවර අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් දැරිය හැකි නිසා ඔහුටද මේ කාරණය සම්බන්ධයෙන් අවධාරණය කොට එම ලිපියේ පිටපතක් යැවූ බවයි.

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 53 දෙනා කඩිනමින් නිදහස්  කර ගැනීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ගන්නා ලද පියවර  තමන් අගය කරණ බව කී මන්ත්‍රීවරයා ඒ ආකාරයටම  ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසද නිදහස් කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මැදිහත් විය යුතු බව කියා සිටියේය.


ධීවර අමාත්‍යවරයා ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීම සදහා බලපත්‍රයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කොට ඇති බවට මාධ්‍ය වල පල වූ අදහස් ගැන විමසූ විට අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා කියා සිටියේ එය රජය ගත් තීරණයක් නොව  අමාත්‍යවරයාගේ අදහසක් පමණක් බවට තමන් තවමත් විශ්වාස කරණ බවයි.

නමුත්  ලෝකයේ පවත්නා සාගර නීතියට අනුව විදෙස් රටවලට තම රටේ මුහුද ලබා දුන් රටවල් ඇතත් ශ්‍රී ලංකාවට එවනි දෙයක් ඉතා පහසුවෙන් කිරීමට අවස්ථාවක් නොලැබෙන බව තමන්ට විශ්වාස යැයිද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය ධීවරයින්ට එවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් උතුරේ ධීවරයෝ පමණක් නොව දේශපාලනඥයෝද සාමාන්‍ය වැසියෝද කැමැත්තක් නොදක්වන අතර රටේ බහුතරයෙන්ද ඒ සදහා ඉඩක් නොලබෙන බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා සදහන් කළේය.

Exit mobile version