ඉන්දියාව මැදිහත් වී ගෙනාව 13 ඉවත් කරන්න කිසිම ආණ්ඩුවකට බෑ.

ටී.එන්.ඒ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඤාණම් ශ්‍රීධරන් කියයි...

දිනසේන රතුගමගේ

ගෝලීය දේශපාලනය තුළ කවර රජයකට හෝ  13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට හැකියාවක් නොලැබෙන බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඤාණම් ශ්‍රීධරන් ඊයේ (6) කිළිනොච්චියේදී පැවසීය.

දහතුන් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු වූයේ හුදෙක්ම ශ්‍රී ලංකාවේ තනි කැමැත්තට පමණක් නොව ඉන්දියාවේ මැදිහත්වීම හා ඉන්දියාවේ උවමනාව මත බව පවසන මන්ත්‍රීවරයා එය ඉවත් කිරීම  පාර්ලිමේන්තුව තුළදී පමණක් තීරණ ගැනීමෙන් කළ නොහැකි බවද  ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් 13 වෙනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් කවර ආකාරයකින් හෝ සහයක් ලබා නොදෙන බවත්  8 වෙනිදායින් පසුව ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාර අතරතුර දෙමළ ජාතික සන්ධානය මේ පිළිබදව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළහොත් පළාත් සභා ක්‍රමය අහෝසි වන නිසා උතුරු නැගෙනහිර කිසිවෙක් ඊට කැමැත්තක් නොදක්වන බව කී මන්ත්‍රීවරයා පළාත් සභා බලතල උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසදීමට ප්‍රමාණවත් නොවූවත් ඉන් යම් මට්ටමකින් හෝ එම පළාත් වලට සේවයක් සිදුවන නිසා  පළාත් සභා ක්‍රමය අහෝසි වන අන්දමේ තීරණයකට දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් සහයෝගය ලබා නොදෙන බවද සදහන් කළේය.

Exit mobile version