රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන ඉදිරියේ දී යමෙක් සෞඛ්‍ය සේවා අඩපණ කරනවා නම් රජය වශයෙන් ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගැනීමට නොපැකිලෙන බවත් ඒ පණිවිඩය සෞඛ්‍ය වෘත්තිකයින් තේරුම් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවත් සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ලෝක වකුගඩු දිනය වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කරන ලද ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ය.
ඇමතිවරයා එම අවස්ථාවේ දී මෙසේ ද පැවසුවේය.
අපේ ඉන්නවා ලක්ෂ එක හමාරක පමණ සෞඛ්‍ය බලඇණියක්. ඒ අය එක්ක සාකච්ඡා කරමින් ඒ අයට ලබා දෙන පනිවිඩය තමයි ඔබ විශාල කර්ය භාර්යයක් උර මත දරාගෙන ඉන්න අය. ඔබගේ සේවාව මේ රටට අත්‍යාවශ්‍යයයි. ඒ නිසා ඔබගේ ඕපීඩී එකට වොර්ඩ් එකට ක්ලිනික් එකට සෑහෙන දුෂ්කරතාවයන් සමග පැමිණෙන රෝගී පුරවැසියා වෙනුවෙන් ඉහළම සත්කාරය ලබා දෙන එක සෞඛ්‍ය වෘත්තියේ යෙදෙන අයගේ වගකීම කියන එක.
කලින් හිටපු ආණ්ඩු වගේ නෙමෙයි. කලින් හිටපු ඇමතිවරු වගේ නෙමෙයි. ඔබට ඕනෑම දෙයක් අපිත් එක්ක සාකච්ඡා කරන්න පුලුවන්. ඒ සාකච්ඡාවලට ජනතාවගේ පැත්තේ ඉඳගෙන ඕනෑම සහයෝගයක් ලබා දෙන්න අපි සූදානම්.
නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවයට පත්වන හැටියට මේ අහිංසක අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් දූ දරුවන්ට ලැබෙන සෞඛ්‍ය සේවාව අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවා නම් ජනතාවගේ පැත්තේ ඉඳගෙන ඒ වෙනුවෙන් තීන්දු ගන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නෑ කියන එක මම කියන්න කැමතියි.
වැදගත්ම දේ ඔබගේ සෞඛ්‍ය… ඔබගේ සෞඛ්‍ය ආරක්ෂා කරන එක. එමනිසා ඒ පණිවිඩය තේරුම් අරගෙන ඒ සියලු වෘත්තිකයින් කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා….







