ඉතිහාසයක් පුරා එක්ව පැමිණි ගමනේ නව මං තනන ස්වර්ණමය ප්‍රවේශය…

ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ ඓතිහාසික සමීපතමයා ය. ඉතිහාසය දෙස බැලූ විට එම සම්බන්ධතාවය අසල්වැසියෙකුගේ භූමිකාවත් ඉක්මවා යන්නකි. ඉතිහාසය පුරා නිරන්තරව පැවති    අවබෝධාත්මක සංස්කෘති බැඳීම මෙන්ම දෙරට අතර ඇති වූ ගැටුම සෑම අවස්ථාවකදීම  දෙපාර්ශවයේම  කලාව, සාහිත්‍යය, සංස්කෘතික සම්බන්ධය පෝෂණය කළේය. එම නැමියාවකින් තොරව අප ගත කළ කාලයක් ඉතිහාසය තුළ නැත.

එහි නවතම ප්‍රවේශය වඩාත් සාධනීය ලෙස ප්‍රකාශයට පත් වී තිබේ.  ඒ සිය ජනාධිපතිධූර ප්‍රාප්තියේ ප්‍රථම වර්ෂය සැමරීමත් සමගම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකළ ඉන්දියානු සංචාරයේදී දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු – ලංකා සබඳතාවක් වෙනුවෙන්   පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත්වීමෙනි.

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  අතර හමුව පසුගිය සිකුරාදා (21)  පෙරවරුවේ නවදිල්ලි නුවරදී සිදුවිය.

ඉතා සාර්ථක සහ ඵලදායී අන්දමින් පැවති එම සාකච්ඡාවෙන්  අනතුරුව දෙරට අතර ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම එළිදැක්විණි.  “සබඳතාවය ප්‍රවර්ධනය කිරීම, සමෘද්ධිය උත්ප්‍රේරණය කිරීම: ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම” ලෙස එය නම් කරති බිණි.


දිගුකාලීනව, රටවල් දෙකෙහි මෙන්ම කලාපයේ පුළුල් වර්ධනයක් සහ සමෘද්ධිය අරමුණු කරගෙන මෙම ප්‍රකාශය එළිදැක්විනි.

මෙම හවුල්කාරිත්ව දැක්මෙහි කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා කැපවන ලෙස මෙහිදී ඉන්දු –  ලංකා නායකයෝ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්හ.

සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ මෙම හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කර තිබිණි.

හවුල්කාරිත්වයේ දැක්ම

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය ශක්තියක් වූ බව නායකයෝ පසුගිය 21 වැනිදා පිළිගත්හ.

මෙහිදී  ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ රජයට සහ ජනතාවට ඉන්දියානු රජය සහ ජනතාව විසින් දක්වන ලද කාලෝචිත, පෙර නොවූ විරූ සහ තීරණාත්මක සහයෝගයට අතිශයින්ම කෘතඥ වූයේය.

නායකයන් දෙදෙනාම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා ඔවුන්ගේ දැඩි කැපවීම සහ විශ්වාසය යළිත් අවධාරණය කළහ.

රට තුළ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම මඟින් ශ්‍රී ලාංකීය සමාජයේ සියලුම කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන සමානාත්මතාවයකින් යුතු සහ ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය සහ ආයෝජනවල වැදගත්කම ද අවධාරණය වූයේය.

ඉන්දියාවේ තිරසාර හා වේගවත් ආර්ථික වර්ධනය සහ තාක්‍ෂණික දියුණුවත්, ශ්‍රී ලංකාවේ වත්මන් ස්ථාවරත්වය හා ආර්ථික ප්‍රකෘතිය, ප්‍රතිසංස්කරණ සහ වර්ධනය යන කරුණු ඉන්දියානු සාගර කලාපයේ වර්ධනය වැඩි දියුණු කරමින් දෙරට අතර සමීප සහ ගැඹුරු ද්විපාර්ශ්වික ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් සපයන බවට නායක දෙපළ එකඟ වූහ.

එමෙන්ම  දෙරටේ ජනතාව අතර ශිෂ්ඨාචාරමය බැඳීම්, භූගෝලීය සමීපත්වය, සංස්කෘතික සබඳතාව සහ වසර දහස් ගණනක සුහදතාවය මගින් ලබා දෙන අසමසම වාසි නායකයින් විසින් අවධාරණය කෙරිනි.

හවුල් සහ තිරසාර ආර්ථික සමෘද්ධියක් ගෙන එන ආකාරයෙන් පවත්නා සහසම්බන්ධතා සහ අනුපූරකතා උපයෝගී කර ගැනීමේ ඔවුහු සිය උත්සාහය යළි තහවුරු කළහ.

මේ සඳහා, දෙරටෙහි  සියලු මානයන්හි සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීමේ සහ ශක්තිමත් කිරීමේ ප්‍රධාන වැදගත්කම නායකයින් විසින් අවධාරණය කරන ලදී.

ඒ අනුව දෙරටේ නායකයන්  මෙවන් එකඟතාවයකට පැමිණියහ.

අන්‍යෝන්‍ය අවබෝධය පරිදි කලාපීය සැපයුම් සහ නාවික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණින් කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය සහ සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු සමුද්‍රීය සම්බන්ධතා යටතේ ඉදිරිපත් වූ වැදගත් ප්‍රවේශයක් වූයේය.

තවද ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී බෝට්ටු සේවා නැවත ආරම්භ කිරීම සහ රාමේෂ්වරම්, තලෙයිමන්නාරම හා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අනෙකුත් ස්ථාන අතර මගී බෝට්ටු සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු යෝජනා වූයේය.

යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම මගින් දෙරටේ ජනතාව අතර සබඳතා දැනටමත් වැඩිදියුණු කර ඇත.  එම ගුවන් සබඳතාවය  කොළඹ දක්වා තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම චෙන්නායි සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ගමනාන්ත අතර සම්බන්ධතා ගවේෂණය කිරීමට  නායක දෙපළ එකඟවීම ඵලදායී ප්‍රවේශයක් වූයේය.

ජනතාවට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබා දීම සඳහා පලාලි ගුවන් තොටුපළේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළුව සිවිල් ගුවන් සේවා සඳහා ආයෝජන සහ සහයෝගීතාව දිරිමත් කිරීම සහ ශක්තිමත් කිරීමට ද මෙහෙදී  දෙරටේ නායකයෝ එකඟතාවය පල කළහ.

වැදගත්ම ප්‍රවේශයක් ලෙස විදුලි බලය හා බලශක්තිය පිළිබඳ සබඳතාවය සංවාදයට ලක් කෙරනිි.  පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීමේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමේ නිගමනයන්ට අනුව සුළං සහ සූර්ය බලය ඇතුළුව ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති විභවයන් වර්ධනය කර  එමඟින් 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවේ අභිලාෂය සාර්ථක කරගැනීම ගැන අවධාරණය විය.

ශ්‍රී ලංකාව සහ BBIN (බංගලාදේශය, භූතානය, ඉන්දියාව සහ නේපාලය) රටවල් ඇතුළු අනෙකුත් කලාපීය රටවල් අතර ද්විපාර්ශ්වික විදුලිබල වෙළඳපොළ සක්‍රීය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතාවකින් යුත් බලශක්ති ජාල අන්තර් සම්බන්ධතාවයක් ඇති කිරීම, ශ්‍රී ලංකාවේ විදුලිබල පිරිවැය අඩු කිරීමට පමණක් නොව ශ්‍රී ලංකාව සඳහා වටිනා සහ විශ්වාසනීය විදේශ විනිමය මූලාශ්‍රයක් නිර්මාණය කිරීමට උපකාර කිරීමටද එමගින් හැකියාව ඇති අයුරු තහවුරු කෙරිනි.

එමෙන්ම සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) යටිතල පහසුකම් පිළිබඳව ඇතිකරගත් එකඟතාව ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තුළ පුනර්ජනනීය බලශක්ති මිශ්‍රණයන් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් නව්‍ය තාක්ෂණයන් භාවිතයෙන් හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා ගවේෂණයට ද දෙරටේ නායකයන්ගේ එකඟතාවය ඇති විය.

තවද ත්‍රිකුණාමලයේ වැව් ගොවිපළ සංවර්ධනය කිරීමේ අඛණ්ඩ සහයෝගීතාවය එම ප්‍රදේශයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතා ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ දෙරටේ උත්සාහයේ පිළිබිඹුවක් වන අතර අන්‍යෝන්‍ය අවබෝධය මත කර්මාන්ත, බලශක්ති සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ජාතික හා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය තවදුරටත් සංවර්ධනය කිරීමට නාකයවරු  එකඟ වූහ.

ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති ප්‍රභවයන් සැපයීම සහතික කිරීමේ අරමුණින් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් (multi-product petroleum pipeline) ඉදිකිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම අවධාරණය කෙරිනි.

ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඛනිජ තෙල් ක්ෂේත්‍රය  සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ අක්වෙරළ ද්‍රෝණිවල හයිඩ්‍රොකාබන් නිෂ්පාදනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ඒකාබද්ධ ගවේෂණයක් සිදු කිරීමට දෙරටේ නායකවරු එකඟතාවය පළ කළහ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය  ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආර්ථික ක්‍රියාකාරකම්වල වැදගත්කම අවධාරණය කළ අතර ප්‍රතිපත්ති අනුකූලතාව, ව්‍යාපාර කිරීමේ පහසුව ප්‍රවර්ධනය කිරීම සහ එකිනෙකාගේ ආයෝජකයින්ට සාධාරණ ලෙස සැලකීම තුළින් අන්‍යෝන්‍ය ආයෝජන සඳහා තවදුරටත් පහසුකම් සැලසීමට නායකවරු එකඟ වූහ.

ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායන් සහ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල නිෂ්පාදන/ආර්ථික කලාපවල ඉන්දියාවෙන් කෙරෙන ආයෝජන සඳහා පහසුකම් සැලසීම අවධාරණය කෙරිනි.

නව සහ ප්‍රමුඛතා ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන පුළුල් ලෙස වැඩිදියුණු කිරීමේ අරමුණින් ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට ද මෙහිදී එකඟ විය.

දෙරට අතර වෙළඳ ගනුදෙණු පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල (INR) නම් කිරීමට ගත් තීරණය වඩාත් ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වාණිජ සම්බන්ධතා ඇති කර ඇති අතර, ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර වෙළඳාම සහ ගනුදෙනු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් ක්‍රියාත්මක කිරීමට එකඟවීම මෙම අවබෝධයේ වැදගත්ම ආර්ථික ඵළයක් වූයේය.

සීඝ්‍ර ඩිජිටල්කරණය ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය සහ පාලනය යන දෙඅංශයේම සිදුවෙමින් පවතින පරිවර්තනීය වෙනස්කම් සඳහා වැදගත් බලවේගයක් වන අතර, ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ පුරවැසි කේන්ද්‍රීය සේවාවන් ජනතාවට ඵලදායී හා කාර්යක්ෂමව සැපයීම සඳහා ප්‍රමුඛතාවයන් අනුව ඉන්දියාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට එකඟ විය.

සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා දඹදිව වන්දනා චාරිකාව සහ රාමායණ චාරිකාව මෙන්ම ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ, හින්දු සහ අනෙකුත් ආගමික සිද්ධස්ථාන පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රචලිත කිරීම සම්බන්ධව අවධාරණය විය.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා අනුව ශ්‍රී ලංකාව තුළ නව උසස් අධ්‍යාපන සහ නිපුණතා මණ්ඩප (Skilled Campus)  පිහිටුවීම ඇතුළුව දෙරටේ අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව ගවේෂණය කිරීම සිදුවිය යුතු බවට නායකයෝ එකඟ වූහ.

කෘෂිකර්මය, ජලජීවී වගාව, තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර, මූල්‍ය සහ කළමනාකරණය, සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව, පෘථිවි හා සමුද්‍ර විද්‍යාව, සාගර විද්‍යාව, අභ්‍යවකාශ යෙදුම් යන ක්ෂේත්‍රයන් මෙන්ම ඉතිහාසය, සංස්කෘතිය, භාෂා, සාහිත්‍යය, ආගමික අධ්‍යයන සහ අනෙකුත් මානව ශාස්ත්‍ර වැනි අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති ක්ෂේත්‍රවල ද පර්යේෂණ සහ අධ්‍යයන ආයතන අතර අන්තර් සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිනි.

ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ වරායන් වෙත ගොඩබිම් ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවයක් ඇති කිරීම මඟින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටෙහි ආර්ථික වර්ධනය සහ සෞභාග්‍යය ඇති කිරීම වෙනුවෙන් වසර දහස් ගණනාවක් පැරණි සබඳතා ඉවහල් ඇති ආකාරය නායකයන්ගේ අවධානයට ලක් විය.

එවැනි ගොඩබිම් සම්බන්ධතාවයක්  ඇති කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ඉදිරි කාලයේදී සිදුකරනු ඇති බවට එකඟතාවය පල විය.

ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතාවයේ මෙම නව්‍ය ප්‍රවේශය දෙරටේම අනාගත දිශානතිය සකසන සාධනීය එළඹුමක් බව පැහැදිලිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් ඇත්තේ  මෙම හවුල්කාරිත්ව දැක්මේ කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ප්‍රායෝගික කිරීමය. එහි වගකීම දෙරටේම නායකයින් සතුව තිබේ.

Exit mobile version