ඉතා පැහැදිලිව නිල වශයෙන් ඉවත්වීම ගැන දැන්නුවා… එහෙම තියෙද්දියි නින්දිත ප්‍රහාරය එල්ල කළේ…

පොලිසිය කිසිම අවස්ථාවක යන්න කිව්වෙ නෑ... යන්නෙ කවද්ද කියලයි ඇහුවේ....

ජනාධිපති  ලේකම් කාර්යාලයෙන් ඉවත් ඉවත්වන ලෙස කිසිම අවස්ථාවක පොලිසිය තමන්ට නොදැන්වූ බව ඉතා වගකීමකින් ප්‍රකාශ කරන බවත්, ඔවුන් විමසා සිටියේ එම භූමියෙන් ඉවත්වන දිනය ගැන පමණක් බවත් අරගල කරුවෝ අද මාධ්‍යයට ප්‍රකාශ කළහ.

ඔවුන් එසේ ප්‍රකාශ කළේ අද මාධ්‍ය හමුවක් පවත්වමින් සහ ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය ප්‍රකාශ කළ ආකාරයට සාමකාමීව ඉවත්වන ලෙස අවස්ථා දෙකක දී දන්වා සිටි විට  විරෝධතාකරුවන්  ආවේගයෙන් හැසිරුණු බවට සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

පොලිසිය ඊයේ (22) ලිඛිත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ පසුගිය 14 වැනිදා කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත්, කොළඹ මධ්‍යම දිස්ත්‍රික් iii භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත්, 2022.07.18 දින කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත්  කොළඹ මධ්‍යම දිස්ත්‍රික් iii භාර සහකාර පොලිස් අධිකාරීවරයාත්, කොටුව වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාත් මෙම විරෝධතා කරුවන් හමුවී අවස්ථා දෙකකදීම සාමකාමීව ඉවත්වන ලෙස එම ඉල්ලීම් කර තිබුණු  බවය.

එම අවස්ථාවල ආවේගශීලීව හැසිරෙමින් ඉවත්වන දින වකවානු ඔවුන් විසින් නියම කළ බව  පොලිසිය කීවේය.


එහෙත් අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අරගලකරුවන් ප්‍රකාශ කළේ තමන් ස්වේච්ඡාවෙන් ඉවත්වන බව ඉතා පැහැදිලිව පොලිසියට සහ වගකිවයුතු අංශවලට දන්වා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල වූ බවය.

අද ගෝඨාගෝගම අරගලකරුවන් වෙනුවෙන් නීතිඥ මනෝජ් නානායක්කාර මාධ්‍ය වෙත පැවසුවේ මෙවැන්නකි.

“පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිසිය වෙනුවෙන් ප්‍රකාශයක් කරමින්    අවස්ථා ගණනකදි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වෙන්න කියලා අපෙන්  ඉල්ලීම් කළා කියනවා.  අපි ඉතා වගකීමකින් කියනවා…  එක් අවස්ථාවකදිවත් පොලිසිය ඒ වගේ  ඉල්ලීම් කළේ නෑ බැහැරව යන්න කියලා.“

“පැමිණි දෙතුන් වතාවම අපෙන් ඇහුවෙ කවද්ද යන්නෙ කියලා. ඔව්… 18 වැනිදා මේ කියන ස්ථානයට  එස්.එස්.පී.,  ඒ.එස්.පී සහ කොටුව වැඩ බලන ඕ.අයි.සී ආවා. “

“ඒ වග දැනගෙන  නීතිඥයෙක් ලෙස මම   දුරකථනයෙන් වැඩ බලන කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට කතා කළා. ඒ වෙලාවෙ කොටුව ස්ථානාධිපතිවරයා  කිව්වා ඔව්   ඒඑස්පී මහත්තයත් එස්එස්පී මහත්තයත් එක්ක අපි ඇවිත් ගියා කියලා.“

“ටිකකින් ඕයි.සී. ගෙ දැනුවත්කිරීම නිසා  ඒඑස්පී මහත්තයා  මට කතා කරලා කිව්වා අපියි ඇවිත් ගියෙ.  කවද්ද යන්නෙ කියලයි ඇහුවෙ කියලා. “

මම කිව්වා, 20. ඡන්දය තියනවා. 20 හවසට අපි කියන්නම් කවද්ද යන්න කියලා. දවස් දෙකක් ඉඳීම සම්බන්ධව ප්‍රශ්නයක් තියනව ද කියලා. “

“ඔහු කිව්වා නෑ… ප්‍රශ්නයක් නෑ. ඉහළ නිලධාරීන්ට දැනුම් දෙන්නම් කියලා.“

“ඊට පස්සේ 20 තත්ත්වය වෙනස් උනා. අපි කිව්වා අපට දවස් කීපයක් අවශ්‍ය වෙනවා. මේ සම්බන්ධ අරගලය හැටියට තීරණයක් ගන්න කියලා. ඊට පස්සේ  අපි සාකච්ඡා කරලා 22  දවල් දෙකට ඒ ලේකම් කාර්යාල පරිශ්‍රයෙන්  සහ ප්‍රධාන ගේට්ටුව අසලින් ඉවත් වනවාය කියන පණිවිඩය නිල වශයෙන් කොටුව වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දුන්නා. නීතිඥ නුවන් බෝපගේ තමයි ඒ ගැන දුරකථනයෙන් දැනුම් දුන්නේ.    මේ කියන්නෙ වගකීමකින්.“

“ඊට අමතරව අපි මේ රජයට සම්බන්ධ, ජනාධිපතිවරයාට සම්බන්ධ පොලිස්පතිවරයාට සම්බන්ධ විවිධ පුද්ගලයින් හරහා   පණිවිඩයක් යැව්වා 22 දවල් දෙකට අපි මෙතනින් ඉවත් වෙනවා කියලා. “

“ඒ සියල්ල උනේ නෑ කියන්න. ඒත් 21 රෑ ජනමාධ්‍යයේ පැහැදිලිවම ප්‍රකාශ වුනා අරගලකරුවෝ  පරිශ්‍රවලින් හෙට දවල් ඉවත් වෙන්න තීරණය කළා කියලා.“

“අරගලයට සම්බන්ධ වට්ස්ඇප් ගෘප් එකක් හැදුවා කියලා පිළියන්දල මනුස්සයෙක් කොළඹට ගෙන්නුවා. ඒ තරම් උනන්දුවෙන් වට්ස්ඇප් ගෘප් මොනිටර් කරන පොලිසිය,  රාජ්‍ය බුද්ධි අංශය,  සමාජ මධ්‍ය හැම තැනම කියැවුන ප්‍රවෘත්තිය   දැනගෙන හිටියෙ නැද්ද. … දැනගෙන හිටියා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“එහෙම දැනගෙන තමයි පෙරේදා රාත්‍රියෙ ආරක්ෂක අංශවලට සම්බන්ධ ඇතැම් නිලධාරීන් සහ කුලී හමුදාවක් යොදාගෙන මේ ප්‍රහාරය  දියත් කළේය.  “

Exit mobile version