ඇමති තුමනි… රට ඉදිරියේ ඔබතුමා හෑල්ලුවන විට පොලිසියේ අපට දුකය….

පොලිස් පොඩ්ඩෙකුගෙන් පොලිසිය භාර ඇමතිට විවෘත ලිපියක්...

Sarath-Weerasekara

ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු පහකට ලබන සතියේදී සුදුස්සන් පත් කරන බව  මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික  රියර් අද්මිරාල් සරත් වීරසේකර අපගේ ඇමති තුමා  කිවේය.   එතුමා කීවේ එම පත්වීම සඳහා ජානධිපතිවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බවය.  ඊට අමතරව  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  සහ සහකාර පොලිස් අධිකාරී පුරප්පාඩු 230කටද  සුදුස්සන්  නුදුරේම පත් කරන බවද එතුමා දැනුම් දුන්නේය.

මේ කතාව ඇහෙන විට පොලිස් පොඩ්ඩෙක් වූ මා තිගැස්සුනේය. එබැවින්ම ගරු ඇමති තුමනි. ඔබතුමාට මේ බව ලියා තබන්නට සිතුනේය. ඒ පොලිසියේ පත්වීම් සිදුවන ආකාරය ගැන  ඔබතුමාගේ අවධානය මදකට යොමු කිරීමේ අපේක්ෂාවෙනි.

ගරු ඇමති තුමනි.


පොලීසියේ පුරප්පාඩු සාමාන්‍යයෙන් පිරවිය යුතු වන්නේ පුරප්පාඩු ඇතිවන විට සුදුසුකම් ලබා සිටින නිලධාරීන් හඳුනාගෙන පොලිස්පතිවරයා විසින් ඒ බව  අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ලේකම්වරයා හරහා රාජ්‍ය සේවා කොමිසමට එම පත්කිරීම්වලට අදාල නිලධාරීන්ගේ නාම ලේඛනය යවා අනුමැතිය ගැනීමෙනි.

රාජ්‍ය සේවා කොමිසම සැලකෙන්නේ ස්වාධීන කොමිසමක් ලෙසිනි. 19 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය බලාත්මකව පවතින කාලයේ පොලීසියේ පත්කිරීම්, ස්ථාන මාරුකිරීම් ආදී කටයුතු බොහොමයක් සිදුවුනේ ජාතික පොලිස් කොමිසමෙනි. 20 සංශෝධනයෙන් ඒ සියළු බලතල පොලිස්   කොමිසමෙන් ඉවත් කර   රාජ්‍ය සේවා කොමිසමට ලබා දුන්නේය.

මුලින් කී ලෙස රාජ්‍ය සේවා කොමිසමත් දේශපාලනයට යටත් නොවන  ස්වාධීන කොමිසමක් සේ සැලකෙන බැවින් මේ පත්වීම්වලට දේශපාලනය සම්බන්ධ වන්නේ නැත. එබැවින් පොලිසියත්, රටත්, ආණඩුවත්, අපේ ජනාධිපතිවරයාත් අපහසුතාවයට පත් කරන මේ වැනි නොදැනුවත් ප්‍රකාශ නොකර සිටීම ඔබතුමාගේ දේශපාලන සෞඛ්‍යයට මෙන්ම පොලිසියටත් කරන සැලකිල්ලකි.

අනික ගරු ඇමති තුමනි… ඔබතුමා දන්නවා නම් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ අරමුණ වූයේ දේශපාලනයෙන් රාජ්‍ය ආයතන මුදා ගැනීමය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කාලයේ මේ ආකාරයට අමාත්‍යාංශවලට පොලීසියේ ලිස්ට් එක ගියෙත් නැත.    පොලිස්පති   කොමිසම හා එක්ව  සුදුසු පත්වීම් කළේය.   අමාත්‍යාංශවලට ලිස්ට් ගියේ නැති නිසා ඇමතිවරයාට කරදර වෙන්නට දෙයක් සිදුවූයේත් නැත.  ඒ නිසා ඇමතිතුමාට   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූර පිරවීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගන්නට තරම්   අවශ්‍යතාවයක් තිබුණේත් නැත. ඒ නිසා ජනාධිපතිවරයාගේ වැදගත් කාලය නිශ්ඡිත ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක වෙමින් තිබූ කටයුත්තක් වෙනුවෙන් වැය කරන්නට සිදුවූයේත් නැත.

අනික ඇමති තුමනි. ඔබ තුමා හැර අන් කිසිම ඇමතිවරයෙක් මින් පෙර  පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පුරප්පාඩු පුරවන්නට  ජනනාධිපතිගෙන්  අවසර ගන්නට ගියේ නැත.  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයක් පුරප්පාඩු වූ විට සිදුවූයේ  ඉන් පසු  ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ තැන ලබාදීමය. දැන් සේවය කරන සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඒ තැනට පත්වූයේ ඒ ලෙසය. ජනාධිපතිවරයාට ඔවුන් සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් ඇතැයි අපට නම් සිතෙන්නේ නැත.

ඉතින් ගරු ඇමති තුමනි…

ඔබතුමාට කියන්නට තවත්  ඉතා වැදගත් කාරණාවක් තිබේ. එනම් තවමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූර 05 ක්  පුරපප්පාඩු වී නැති බවය. පුරප්පාඩු 05 ඇතිවන්නේ ලබන මාසේ 30 වෙනිදායින් පසුව බවය. දැනට ඇත්තේ පුරප්පාඩු   03කි. ඔබතුමා නොදන්නවාට  ඒ තුනෙන්  එකක්   සිදු වී දැනට මාස තුනකටත් වැඩිය. ඔබතුමා ලබන සතියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූර පහක් පුරප්පාඩුවන බව රටට කියන්නේ එහෙම තියෙද්දීය.

අනෙක් කාරණය ගරු ඇමතිතුමනි…

පොලිස් මූලස්ථානයේ  පුරප්පාඩු    ගණන සහ ඒ වෙනුවට පත්කිරීමට සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් සම්බන්ධව පොලිස් මූලස්ථානය අමාත්‍යාංශයේ ලේකම්වරයාට තවම නිල දැනුම්දීම පවා තවම සිදුකර නැත.  රාජ්‍යසේවා කොමිෂන් සභාව විසින්   පත් කිරීම් අනුමැතිය ලබා දෙන්නේ පුරප්පාඩු සඳහා නිලධාරීන් නම් කළ පසුවය. මෙය අඩුම තරමින් මාසයක්වත් ගතවන ක්‍රියාවලියකි. හේතුව පොලිස් කොමිසම තුළ ක්‍රියාත්මක වූ ආකාරයට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් ඔස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් පත්කිරීම් සිදුකරන බැවිනි.  පොලිසියේ බොහෝ පුරප්පාඩු රාජ්‍ය සේවා කොමිසමේ සිරවී ඇත්තේ මේ ප්‍රායෝගික තත්වය නිසාය.

ඉතින් ඇමති තුමනි.

යළිත් කියන්නට ඇත්තේ ඔබ අපේ ඇමතිවරයා නිසා ඔබ සමාජය ඉදිරියේ කොමිටල් වනවිට, කොල්ලන් කෙල්ලන් පවා පුස් වෙඩිල්ලේ කතාව කියමින් හින්ට් පාස් කරනකොට අපටත්  දරාගන්නට බැරි බවය. ඒ නිසා ඇමතිවරයා ලෙස ප්‍රකාශ නිකුත් කරන විට තමන්ට ලැබෙන තොරතු පිළිබඳව, ඒ ඇසුරින් කරන ප්‍රකාශ පිළිබඳව හා තමන්ගේ ප්‍රකාශවල ප්‍රායෝගික වලංගුභාවය පිළිබඳව තව ටිකක්  අධ්‍යයනය කළ යුතු බව අපගේ යෝජනාවය.  පොලිස් සේවයේ ගෞරවය, පෞරුෂය හා සම්ප්‍රදාය ආරක්ෂා කිරීමේ වගකීම හෑල්ලුකර දේශපාලනිකව ඔබතුමාට ලබා ගන්නට හැකි දෙයක් නැති බව අපට හිතෙන්නේය.  ඔබේ දේශපාලන පැවැත්ම තහවුරු වන්නේ රට වෙනුවෙන් පොලිසිය නිවැරදි දිශානතියකට යොමු කිරීමෙන් මිස දේශපාලන පැවැත්ම වෙනුවෙන් කටට එන හෑලි කියා එහි පෞරුෂය විනාශ කර නොවේ.

ඔබතුමා නොදන්නවාට පොලීසියේ ඉහළ නිලධාරීන් බොහොමයක් නිසි කලට තමන්ට හිමි උසස්වීම් නොලැබීම ගැන  පසුවන්නේ පීඩනයෙනි.  පරිපාලන ක්‍රමවේද හා සම්ප්‍රදායන් නොසලකා දේශපාලන භූත නොකියා පොලිසිය තුළ ඇති සැබෑ ප්‍රශ්නය තේරුම් ගෙන ඊට විසඳුම් සෙවීමේ වගකීම මේ මොහොත වනවිට ඔබතුමා ඉදිරිපිට තිබේ.

ඔබ පොලිස් සේවයට සේවයක් කළ ඇමතිවරයෙක් ලෙස දේශපාලනයෙන් විශ්‍රාම යන්නට ඇති අවස්ථාව තවම කල් ඉකුත් වී නැති බව පමණක් ගෞරවයෙන් ලියා තබමි.

ඔබතුමාට නිදුක් නීරෝගී සුවය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මම ඔබතුමාටත් පොලිසියටත් හිතවත් පොලිස් පොඩ්ඩෙක්…

Exit mobile version