අත්‍යවශ්‍ය ආහාර තොග තව මාසෙකටත් මදි – ඩොලර් අර්බුදයෙන් ආහාර හිඟයක්!

ශ්‍රි ලංකාවට ගෙන්වනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග ව්‍යාපාරිකයන් අත පවතින්නේ තවත් මාසකටත් අඩු කාලයකට ප්‍රමාණවත් තරම් බවත් මෙම ආහාර ද්‍රව්‍ය ගෙන්වීමට ප්‍රමාණවත් ඩොලර් බැංකුවලින් නිකුත් නොකිරීම මේ තත්ත්වයට හේතු වී ඇති බවත් ආහාරද ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පවසයි. මේ හේතුවෙන් මේ වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමකට ලක්ව ඇති බවත් එම තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටි බවත් ඔහු තවදුරටත් පැවසීය.

ඊයේ (27) ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය රජයේ ජීවන වියදම් පිළිබඳව අනුකමිටුව සමඟ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කළ බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ට එහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් ඔවුන් මේ පිළිබඳව රජය වෙත කරුණු ඉදිරිබත් කොට මෙම තත්ත්වය සමනය කිරීමට අදාළ පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් සෙනෙවිරත්න මහතා තවදුරටත් සඳහන් කළේය.

පරිප්පු, සීනි, අල ලූණු, ටින් මාලු, කොත්තමල්ලි වැනි විවිධ ආහාර දුව්‍ය ආනයනය සඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ මුදලක් වැය වන අතර ආනයනකරුවන්ට තම භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී නිසි කලට වේලාවට ඊට අදාළ ඩොලර් නිදහස් කිරීමක් සිදු නොවන බවත් මේ තත්ත්වය මත බොහෝ ආනයන කටයුතු අකර්මණ්‍ය වී ඇති බවත් පෙන්වා දුන් සෙනෙවිරත්න මහතා මෙම තත්ත්වය මත ආනයනකරුවන් අනපේක්ෂිත ලෙස අර්බුද ගණනාවකට මුහුණ දෙන්නට සිදුව ඇතැයි පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ඩොලර් ප්‍රශ්නය හමුවේ රජයට මේ මොහොතේ අසීරු තත්ත්වයක සිටින බව අප වටහා ගත යුතු වුවද අත්‍යවශ්‍ය ආහාර දුව්‍ය ආනයන සම්බන්ධදයෙන් යම් විසඳුමක් ලබා දීමට රජයට පියවර ගන්නට සිදුවනු ඇතයි ද සෙනෙවිරත්න මහතා එහිදී සඳහන් කර සිටියේය

Exit mobile version