ආර්ථිකය ද?. ජීවිතය ද?. වැඩ වෙන්නෙ මෙහෙම නම් සති 02කින්  දිනකට 300ක් මැරෙන්න නියමිතයි…

බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි බීබිසී යට කී කතාව

දැන්වත් හරි දේ නොකර, වසංගතය පාලනය කරන්න යන්නේ මේ විදිහටම නම් දෛනික මරණ සංඛ්‍යාව 200, 300 දක්වා  ඉහළ යනු ඇති බවත්,  එවැනි තත්ත්වයක් ඇති වීමට 90% ක පමණ ඉඩක්  දත්ත මගින් පෙන්නුම් කර තිබෙන බවත්   රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය වරයා මෙන්ම යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි පවසයි.

ඔහු එසේ පවසා තිබුණේ බී.බී.සී. ය සමග සංවාදයකට එක් වෙමිනි.

“එහෙත් එම මරණ සංඛ්‍යාව 200-300 දක්වා ඉහළ යාම වළකා ගැනීමට අප තවමත් අප ප්‍රමාද නෑ.   නමුත් පසුගිය කාලයේ අපේ ප්‍රමාදයන් නිසා, අපිට සෑහෙන ජීවිත ප්‍රමාණයක් නැති වුණා” ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.


දවසකට මරණ 200, 300 ක්?

සීඝ්‍ර සහ සාර්ථක එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක වුවත්, වත්මන් තත්ත්වය දිගටම පැවතියොත් අගෝස්තු 10 වෙනිදා වන විට ශ්‍රී ලංකාවෙන් දිනකට මරණ 80 -90 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වනු ඇති බවට මහාචාර්ය සුනෙත් අගම්පොඩි අගෝස්තු 01 වෙනිදා අනතුරු අඟවා තිබිණි

වහා සාමාන්‍ය ජනතාවගේ හැසිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු විය යුතු බවත් තවදුරටත් වසංගතය පිළිබඳ බොරු සහතික ලබා නොදිය යුතු බවත් සතියකට පෙර ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

“හැබැයි අපි දැන්වත් හරි දේ නොකර, වසංගතය පාලනය කරන්න යන්නේ මේ විදිහටම නම් දෛනික මරණ සංඛ්‍යාව 200, 300 දක්වා ඉහළ යන්න පුළුවන්.”

මහාචාර්යවරයා පෙන්වා දෙන පරිදි ඉදිරි සති දෙක තුළ මරණ අඩු කිරීමට නම්:

පැමිණෙන සියලුම රෝගීන් රෝහල්වලට ඇතුලත් කර ගැනීම සහ නිවසේ සිට ප්‍රතිකාර ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීම මෙන්ම රෝගීන් ප්‍රවාහනය සහ හදිසි සේවා ලබා දීමට නිසි යාන්ත්‍රණයක් සැකසීම කඩිනමින් සිදු විය යුතුය.

“මහාචාර්ය චන්න ජයසුමන කී ආකාරයටම අපිට තිබෙන බරපතලම ගැටලුව වෙන්නේ ඉන්දියාවේ වුණා වගේ ඔක්සිජන් ප්‍රමාණය මදි වුණු ගමන් අපි වෙනදා බේරගන්න ලෙඩ්ඩු මැරෙන්න තිබෙන අවදානම වැඩි වීම.”

“ඒ දේ නවත්ත ගන්න නම් අපි ආපසු මුලට යා යුතුයි. රෝගය තවදුරටත් පැතිරීම වළක්වන්න අවශ්‍යයි.”

“රටකට මේක කරන්න පුලුවන්ද බැරිද කියන දේ සිතන්නේ නැතුව මම මේ දේ කියන්නේ. මේ වෙලාවේ අපිට තව මරණ එන එක නවත්ත ගන්න කරන්න පුළුවන් දේ තමයි 100% ඇඳිරි නීතිය දාලා මිනිස්සුන්ව සති දෙකක් ගෙදර තියන එක. අපිට අඩුම තරමේ රෝහල්වලට හුස්මක් ගන්න, සූදානමක් ඇති කර ගන්න ඉන් අවස්ථාවක් ලැබෙනවා.”

ආර්ථිකය ද? ජීවිතය ද?”

ආර්ථික ගැටළු දෙස බැලීමේදී එය කළ නොහැකි දෙයක් විය හැකිමුත් එවැනි පියවරකට නොගියොත් මරණ අඩු කර ගැනීම අතිශය දුෂ්කර වනු ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි පෙන්වා දෙයි.

කෙසේ වුවත් යම් කිසි අවස්ථාවක “ආර්ථිකය ද ජීවිතය ද” යන්න තෝරා ගැනීමට බල කෙරෙනු ඇති බව ද මහාචාර්යවරයා පවසයි.

“ඒක, ආර්ථිකය ද ජීවිතය ද කියන තෝරා ගැනීම අපි තව ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙන්න ඇරලා ගන්නවද? දැන් ඒ තීන්දුව අරගෙන ජීවිත බේරා ගන්නවද කියන තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්.”

“අද සති දෙකක් වැහුවත්, තව සති දෙකකින් සති දෙකක් වැහුවත් ආර්ථිකයට එන බලපෑම එකයි. හැබැයි අද සති දෙකක් වැසීම සහ තව සති දෙකකින් රට වැසීම හරහා අපිට නැති වෙන ජීවිත ප්‍රමාණය දෙතුන් දාහක් වෙන්න පුළුවන්, සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්.”

“අපිට රට එකපාරක් ඇරලා, ආපහු වහන්න උනොත් මේක අපේ ෆේලියර් එකක්, මේක අපේ වැරද්දක් වෙනවා වගේ හැඟීමක් නිසා අවශ්‍ය දේ නොකරන ගතියක් පේනවා.”

“අපිට යම් තීරණයක් ගන්න වෙනවා, ඊට පස්සේ තවත් තීරණයක් ගන්න වෙනවා කියන එක කාගේවත් වැරද්දක් නෙමෙයි. මේක තමයි ගෝලීය වසංගතයක යතාර්ථය.”

මහාචාර්ය සුනෙත් අංගම්පොඩි

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුනෙත් පෙරේරා –
BBC සිංහල –

 

Exit mobile version