ආනන්ද සංගරි තමන්ගේ එකම වත්කම යුද්ධයෙන් අසරණ වූ මිනිසුන්ට බෙදා දෙයි..

අක්කර 15ක තමන්ගේ එකම ඉඩම යුද්ධයෙන් අවතැන් වූවන්ට නිවාස ව්‍යාපෘතියක් සඳහා ආණ්ඩුවට බාර දෙයි....

දිනසේන රතුගමගේ –

යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනතාවට සේවයක් කිරීමට තමන්ට දේශපාලන බලයක් නොමැති නිසා තමන් සතුව ඇති එකම දේපල වූ අක්කර 15 ක ඉඩම යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට නිවාස ඉදිකරගැනීම සදහා පරිත්‍යාග කළ බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2 දා පැවසීය.

හිටපු මන්ත්‍රීවරයාට මුලතිව් පුදුකුඩීඉරිප්පු සුදන්තිරපුරම් ප්‍රදේශයේ අක්කර 15 ක මධ්‍යම පන්තිකයින්ගේ ඉඩමක් ඇති අතර  ඔහු යාපනයේ සිට මුලතිව්  පුදුකුඩීඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් සිය ඉඩම රජයට බාර දී තිබේ.

මම දැන් දේශපාලන බලවතෙකු නෙමෙයි .ඉදිරි කාලයේදී ඒ කටයුතුවල නිරත වීමට සවිශක්තියත් අඩුයි. මට යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට  සහන ලබා දෙන්නට දේශපාලන බලයක් නෑ. එහෙම සහන සලසනවා කියාගෙන බලයට ආව අය එහෙම ජනතාවට සලකන්නේත් නෑ. ආණ්ඩුව තමයි ඒ අය ගැන හොයලා බලන්නේ. ඉතින් මම මට අයිති එකම බූදලය වුණු අක්කර පහළොවක ඉඩම රජයට බාර දුන්නා. “


“ඒක බාර දීලා මම නිලධාරීන්ට කිව්වේ මුලතිව් පළාතේ ඉඩම් නැති අයට ඒ ඉඩම කොටස් කරලා බෙදලා දෙන්න කියලයි. ඒ ඉඩම් කොටසක් අයිති වෙන කෙනෙකුට හැකි ඉක්මනින් රජයෙන් ස්ථිර නිවාසයක් ලබා දෙන ලෙසත් මම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මම ක්‍රියාකාරී දේශපාලන කටයුතු වල නිරත වෙලා ඉන්න කාලයේදී මේ ඉඩම ජනතාවට බෙදලා දෙන්න කිව්වානම් හැමෝම කියන්නේ මම ජනතාවගේ ඡන්දය බලාගෙන ඉඩම දුන්නා කියලයි. දැන් කාටවත් එහෙම කියන්න බැහැනේ. මම මට කරන්න පුලුවන් දේ තමයි එදා ඉදලම කළේ. කරන්න බැරි දේවල් කරනවා කියලා මම දෙමළ ජනතාවට පොරොන්දු වුණෙත් නැහැ. එහෙම පොරොන්දු වුණානම් මම තවමත් ශක්තිමත් බලයක් තියන දේශපාලනඥයෙක් තමයි.“

Exit mobile version