ආණ්ඩුව දිගටම ගෙනියන්න ජනපතිට උදව් කරනවා – ඇමති ප්‍රසන්න කියයි

වත්මන් ආණ්ඩුව අවසන් දිනය දක්වාම ගෙනයෑම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ ජනාධිපතිවරයාට සහාය පළකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයෙදි හා මහා මැතිවරණයෙදි පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම අත්‍යාවශ්‍ය බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ ආසන නියෝජිත සමුළුව අමතමින් පසුගිය දා (22) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකා ⁣පොදුජන පෙරමුණ කවදාවත් මංකොල්ල කාල නෑ.මිනී මරල නෑ.අපේ පක්ෂයේ නායකයො රටට වැඩ කළා මිසක රටට වැරදි වැඩ කරල නෑ. ඒ ගැන අපි ආඩම්බර වෙනවා. අපි මේ පක්ෂය හදල මුලින්ම මුහුණ දුන්නේ පළාත් පාලන මැතිවරණයටයි. එදා අපිව ජයග්‍රහණය කරවන්න ගම් මට්ටමේ ජනතාව විශාල සහයක් දුන්නා. රටේම පළාත් පාලන ආයතනවලින් සියයට 80ක ජයක් අපි ලැබුවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තය රටට යම් වැඩ පිළිවෙලක් කරන්න හැදුවා. ඔහු එදා ආරක්ෂක ලේකම් ලෙස යුද්ධය නිමා කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයට විශාල ශක්තියක් ලබාදුන්නා. කොවිඩි වසංගතය වෙලාවෙදි ඔහු අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂා කරන්න ඔහු ගත් පියවර මුළු ලෝකයේම පැසසුමට ලක් වුණා. අවස්ථා දෙකතුනකදි මිනිස්සුන්ගෙ ජීවිත බේරගත්ත නායකයෝ මේ පක්ෂයේ ඉන්නෙ. මෙවැනි පක්ෂයක සාමාජිකයකු වීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ වගේම මම එදා වගේම අදත් හෙටත් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කඩේ යනවා. එතුමා කරපු සේවය අපිට අමතක කරන්න බැහැ.

ජනාධිපතිතුමා වසරක් ඇතුළත අභියෝග ජයගත්තා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ මේ ආණ්ඩුව ගෙනියන්න අපි රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරනවා. අපිට ජනාධිපතිවරණයෙදි, මහමැතිවරණයේදී ඡන්දය දීපු මිනිස්සුන්ගෙ බළාපොරොත්තු ඉටුකරන්න ඕන. මේ ශක්තිය බිඳින්න සමහරු උත්සහ ගන්නවා. මහින්ද මහත්තය අගමැති කරන්න හදනව කියල පහුගිය කාලෙ කතාවක් ගියා. මම මේ ගැන එතුමාගෙන් ඇහුව්වා. දිනේෂ් අගමැතිකමට පත්කලේ අපි. ඉතිං මොකටද අපි දිනේෂ් වෙනස් කරන්නේ කියල මහින්ද මහත්තය මට කිව්වා.


දැන් අලුත්ම කතාව සජිත් ප්‍රේමදාස අගමැති වෙනව කියන එකයි.මේ හදන්නෙ අපිව බිඳවන්නයි. මේ ආණ්ඩුව අවසන් දිනය දක්වා ගෙනියන්න අපි උපරිම සහය දෙනවා. වියත්මග හදාගෙන පක්ෂයට ආපු අය අද එළියට ගිහිල්ලා අපිව විවේඡනය කරනවා. හැබැයි පක්ෂය හදන්න මුල්වුණ අය අදත් අපි එක්ක ඉන්නවා. අරගලයට නායකත්වය දුන්නේ ගම හදනවට අකමැති වුණ අයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ,මධුර විතානගේ, සංජීව එදිරිමාන්න මෙම අවස්ථාවට සහභාගී වූහ.

Exit mobile version