අ.පො.ස.සා.පෙ  සිසුන් 16ක ගෙන් ශාලාධිපතිට එරෙහිව වි.කො ට පැමිණිල්ලක්

බලා අඳින චිත්‍රයට ද්‍රව්‍ය පෙන්නෙ නෑ කිව්වම රූප සටහනක් ඇඳ පෙන්වා ඒ ලෙස අඳින්න කියලා....

කීර්ති ප්‍රනාන්දු –

ඉකුත් දා පැවති අ.පො.ස. සා.පෙ. විභාගයේ චිත්‍ර විෂය සඳහා විභාගය පැවති දින තමන්ට අවශ්‍ය පහසුකම් ලබා දුන්නේ නැතැයි හම්බන්තොට ප්‍රදේශයේ  විභාග මධ්‍යස්ථානයක සිසු සිසුවියන් 16 දෙනෙක් විභාග කොමසාරිස්වරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් කර ඇතැයි විභාග කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉකුත් 09 දා හම්බන්තොට සුචී ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ දී චිත්‍ර විෂයට පෙනී සිටි සිසු සිසුවියන් 16 දෙනෙක් මෙම පැමිණිල්ල කර ඇත්තේ විභාග ශාලාධිපතිවරයාට එරෙහිවය.

විභාගයේ චිත්‍ර විෂයට අදාලව ද්‍රව්‍ය බලාගෙන ඇඳීමේ කොටස සඳහා ශාලාධිපතිවයා තමන් 16 දෙනා ස්ථාන කීපයක අසුන් ගැන්වූ නිසා බලා ඇඳීමට  තිබූ ද්‍රව්‍ය උපකරණ කිසිම දෙයක් නවැරදි ලෙස හරියාකාරව නොපෙනුණු බව සිසුහු විභාග කොමසාරිස්වරයාට පැමිණිලි කරති.


එසේම එම සිසුන් තම ගැටලුව හා බාධකය පිළිබඳව ද ඒ මොහොතේම විභාග ශාලාධිපතිවරයාටත්, විභාග පරීක්ෂකවරියටත් දැනුම් දුන්න ද ඔවුන් දෙදෙනා ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැතැයි ද පැමිණිල්ලේ සඳහන් වේ.

එමෙන්ම විභාග පරීක්ෂකවරියට අදාල ද්‍රව්‍ය එකතුව නිසි පරිදි විභාග ශාළාව තුළ ස්ථානගත කිරීමට නොහැකි වූ බවත් ඒ නිසා ඇය විසින් ද්‍රව්‍ය එකතුවේ දළ සැලැස්මක් කොළය ඇඳ සිසුන්ට පෙන්වා සිටිමින් විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ මේ ආකාරයට අඳින රූප සටහනක් බැවින් අදාල දළ සැලැස්මට අනුව අඳින ලෙස දැනුම් දුන් බවත් සිසුහු සිය පැමිණිල්ලේ සටහන් කරති.

මෙම චිත්‍ර ඇඳීම සඳහා කෙන්ට් පේපර් වෙනුවට ලබා දුන්නේ ඒ 4 වර්ගයේ සාමාන්‍ය සුදු කොළ පමණක් බවත් ඒ 4 වර්ගයේ හාෆ් ෂීට් කොළව ල එම චිත්‍ර ඇඳිය නොහැකි බවත් සිසුහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දෙති.

පසුගිය කාලය පුරාම රට තුළ පැවති තත්වය හේතුවෙන් නියමිත පාඩම් ආවරණය කරගත නොහැකිව අසරණව සිටි තමන්ට චිත්‍ර විෂය සඳහා ලකුණු ටිකක් වැඩිකර ගැනීමට අවස්ථාව තිබුණේ  අඳින චිත්‍රවලින් වුවත් විභාග ශාලාධිපතිවරයාගේ හා පරීක්ෂකවරියගේ නොසැලකිල්ල නිසා තමන්ට විශාල අසාධාරණයක්  සිදු වූ බව සිසුහු පැමිණිල්ලේ සඳහන් කරති

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව ලංකාසර විභාග දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී එහි උසස් නිලධාරියෙක් පැවසුවේ සිසුන්ගේ ලිඛිත පැමිණිල්ල පිළිබඳව විභාග  කොමසාරිස්තුමාගේ උපදෙස් පරිදි විමර්ශනයක් සිදු කරන බවය.

Exit mobile version