අ.පො.ස. සා.පෙ. පිළිතුරු පත්‍ර ඇගයිම 27 දා ඇරඹෙයි….

නතාෂා නෙත්මිණි –                                                    

අපොස සාපෙළ විභාග පිළිතුරුපත්‍ර ඇගයීම් මාර්තු මස 27වන දින සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් මහතා සදහන් කරයි. සෞන්දර්ය විෂයන් සදහා පෙනී සිටින සිටි දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රායෝගික පරික්ෂණ ලබන මැයි මාසයේදී ආරම්භ කරන බවද ඇමතිවරයා කියයි.

අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයක් වන කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී ‍වීමෙන් අනතුරුව ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,


අද අ.පො.ස සාමාන්‍ය පෙළ අවසාන දවස. දවස් 10ක් තිස්සේ මේ විභාගය පැවැත්වුණා. අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 622000ක් විභාගය සඳහා පෙනී සිටියා. විභාග මධ්‍යස්ථාන 4513ක විභාගය පැවැත්වුණා. විශාල අභියෝගවලට මුහුණදීල තමයි අපි මේ විභාගය පැවැත්වුවේ. විභාගය ආරම්භ වනවිට ආසාධිත දරුවන් හිටියේ 38යි. අවසාන වනවිට සිසුන් 62යි. මේවගේ තත්ත්වයකට මුහුණ දෙන්නට අපි කලින් සූදානම් වෙලා තිබුණා. මුළු රටේ ම විශේෂ විභාග මධ්‍යස්ථාන 40ක් අපි හදල තිබ්බා. ඒවගේ ම නි‍රෝධායනයට ලක්වුණු දරුවන් 322ක් හිටියා. හැම විභාග මධ්‍යස්ථානයක ම විශේෂ පන්ති කාමරයකුත් සකස් කරලා තිබුණා. ඒවගේ ම පසුගිය දවස් දෙකේ අයහපත් කාලගුණය නිසා සමහර ගැටලු පැන නැඟුණා. හැබැයි අපිට පුළුවන් වුණා බොහොම සාර්ථක ව ප්‍රශ්නපත්‍ර විභාග මධ්‍යස්ථානවලට නියමිත වේලාවට යොමු කරන්නට.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි තීරණය කරලා තිබෙනවා සෞන්දර්ය විෂයයන් සම්බන්ධව ‍ප්‍රායෝගික පරීක්ෂණ මැයි මාසයේ පවත්වන්නට. ඒකෙ ප්‍රයෝජනය තමයි, මේ දරුවන්ට හැකියාව ලැබෙනවා මාර්තු සහ අප්‍රේල් මාස තුළ ඒ සඳහා සූදානම් වෙන්නට. උත්තර පත්‍ර ඇගයීම මේ මාසේ 27වන දින ආරම්භ කෙරෙනවා. ඒ අනුව ජුනි මාසයේ පමණ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නටත් ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමටත් අපට හැකියාව ලැබෙයි. යැයි ඇමතිවරයා සිය විශ්වාසය පල කළේය. 

 

Exit mobile version