අස්වැන්නෙන් පහෙන් එකයි… මහ කන්නයේ හත වදින  හැටි මහවැලි ගොවියෝ කියති!

මනම්පිටිය නිමල් ජයරත්න –   

මහවැලි බී කලාපයට අයත්  අරලගංවිල පන්සිය 503 කලාපයේ මෙවර මහ කන්නයේ මාදුරුඔය ජලාශය යටතේ කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ලද කුඹුරු බිම්  සියල්ලෙන්ම අපේක්ෂිත අස්වැන්නෙන් පහෙන් එකක්වත් නොලැබෙන බවට ගොවීහු මේ වනවිට පුරෝකථනය කරති.

මහවැලි බී කලාපයට අයත් 503 කලාපයේ ගොවි පවුල් 1000 ක් පමණ  අක්කර 2500   කුඹුරු බිම් ප්‍රමාණයක් මෙවර  මහ කන්නයේ  වී වගා කර  තිබේ. එම සියලු ගොවිබිම්වල පැල ගොයම නිසරු වී ඇති බවත්  මේ වන විට පීදෙමින් පවතින බන්ඩි ගොයම වී කරල් සුදු පැහැ ගැන්වී  ගොයම් කරල වර්ධනයක් දැකිය නොහැකි  තත්වයට පත් වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

පිඹුරත්තෑව ජලාශය යටතේ මෙවර මහ කන්නයේ ගොවි පවුල් 2500ක් පමණ වී වගා කර තිබෙන අතර එම කුඹුරු  බිම්වල ද   පැළ ගොයමේ වර්ධනය  මුලුමනින්ම ඇණහිට  ඇතැයි  මහවැලි සී කලාපයේ හිටපු ව්‍යාපාර කමිටු  ලේකම් සරත් රාජපක්ෂ   සඳහන් කළේය.


“වෙනත් කන්න වල කුඹුරු අක්කරයකින් වී කිලෝ පන්දාහක්  ගත්තා.. මේ කන්නයේ කිලෝ දාහක්වත් ගන්න බැරි වේවි. අක්කර දෙකහමාරකින් ගෙදර කන්න තියාගත්තම විකුණන්න දෙයක් ඉතිරුවෙන එකක් නෑ.  කාබනික පොහොරෙන් වගා  කරන   කුඹුරුවල පැළ ගොයම නියරින් උඩට ඇවිත් නෑ… හාල් කිලෝ එක රුපියල් තුන්සීයක්වත් වුනේ නැතිනම් පුදුමයි.“    ගොවින් අපට කීවේ එසේය.

ඒ අනුව තමන්ට වන්දි මුදලක් ලබාදීමට රජය අපොහොසත්  වුවහොත්  ලබන යල කන්නයේ වී වගාව සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවන බවද  ගොවීහු සඳහන් කරති.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ වෙනවිට ඇද හැලෙන වර්ෂාපතනයත් සමග පූදින ගොයමට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ඒවා විනාශ වෙමින් පවතින බවත් ගොවීන් පෙන්වා දෙති.

කුඹුරු අක්කර දෙකහමාරක් වගා කිරීමට කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා රජය මගින් ලබාදෙන රුපියල් 12,500 ක  මුදලින් මෙතෙක් ගොවීන්ට ලබා දී ඇත්තේ රුපියල් හත්දාස් පන්සීයයි 7,500 ක  මුදලක් පමණක් බව ද මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශය වී වගා කරන ලද ගොවීහු  චෝදනා කරති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අප මේ පිළිබඳව ,අරලගංවිල, ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් දුරකථනයෙන් සිදුකළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ ගොවීන් ලබාදුන් බැංකු ගිනුම් වලට එම මුදල් බැර කර ඇති බවත්, කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ද ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් ඊට වන්දි ලබාදීමට රජය වැඩපිළිවෙළක් සකසා ඇති බවයි.

Exit mobile version