“අසනි“ මහ වැසි ගෙනෙයි….

Rain

තුෂාරී කළුබෝවිල –

දිවයිනට ඊසාණ දෙසින් පිහිටි “අසනි” සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ නිරිතදිග කොටසට තවදුරටත් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉහළ කොත්මලේ ප්‍රදේශයට ගත වූ පැය 24 ඇතුළත මිලිමීටර් 213 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර එම දිස්ත්‍රික්කයේ ම මස්කෙළිය ප්‍රදේශයට මිලිමීටර් 152.50 ක ද දික්ඔය ප්‍රදේශයට මිලිමීටර් 116.50 ක වර්ෂාපතනයක් ද ලැබී තිබේ.

එසේ ම රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කවලට ද මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබී ඇත.

මේ හේතුවෙන් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, අඹගමුව, කොත්මලේ ප්‍රදේශ නායයාම් අවධානම සහිත ප්‍රදේශ බැවින් දැඩි ලෙස විමසිලිමත් ව සිටින ලෙස පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.


එසේ ම කලුතර, මාතර, මහනුවර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල ද ප්‍රදේශ රැසකට නායයාම අනතුරු ඇගවීම් නිවේදනය කර තිබේ.

මේ අතර කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර හා නිරිත දෙසින් හමා එන සුළඟේ වේගය ද විටින් විට වේගවත් වන බැවින් නාවික හා ධීවර කටයුතු අවධානම් බව ද පැවසේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු  ප්‍රදේශවල තාවකාලික ව තද සුළං ඇති විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ තාවකාලික ව
ඉතා රළු විය හැක.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට නිරිතදිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් ඉදිරි දිනවල බෙංගාල බොක්ක ආශ්‍රිත ව පීඩන පද්ධති තවදුරටත් වර්ධනය වියහැකි බවත්, ගතවූ වර්ෂයට සාපේක්ෂ ව මෙවර උතුරු පළාතට සහ අනුරාධපුරයට වර්ෂාපනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත් කාලගුණික හා දේශගුණික නිරීක්ෂණයන්ගෙන් පෙනී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා “ලංකසර”ට කීවේ ය.

Exit mobile version