අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරිය හදිසියේ මාරුකරයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ විමර්ෂණ අධ්‍යක්ෂවරිය වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණි විරසූරිය වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට මාරු කර යවා ඇත.

ඇය මීට පෙරද වරක් යාපනයට මාරු කිරීමට උත්සාහ ගත් අතර දක්ෂ නිලධාරිනියක ලෙස ඇය එහිදි කළ විමර්ශන අතර හදිසියේ මාරු කිරීම පිළිබඳව සමාජය තුළ දැඩි විරෝධයක් එල්ල විය. ඒ හේතුවෙන් එම මාරුකිරීම එවර අවලංගු වන අතර මෙවර ඇය පොලිස් මූලස්ථානයේ සුබ සාධක අංශයට මාරු කර ඇත.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරයා ලෙස පත් කොට ඇත්තේ නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංකය. මීට පෙරද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදි අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම වෙත පත් කිරීමට කටයුතු යෙදුණි. එහෙත් එම තීරණය කල් දැමීමෙන් පසුව පොලිස් මූලස්ථානයේ කාර්යභාරයක් නොමැතිව කෙටි කලක් සිටි අතර ඊට පසුව නුගේගොඩ කොට්ඨාසය භාර නිලධාරියා ලෙස පත් කෙරිණි.

අල්ලස් දූෂණ කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ වීරසූරිය එම තනතුරට පත් වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසගත වන අතර ඇය තම තනතුර දැරූ සමයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට සහ දේශපාලඥයන් කිහිප දෙනකුට එරෙහිව පවතින අල්ලස් දූෂණ නඩු ගොනු අපක්ෂපාතී ලෙස මෙහෙයවූ බව සඳහන් වන අතර මෙම මාරුව ඒ හේතුවෙන් සිදුවූයේද යන්න පිළිබඳව මේ වනවිට කතා බහත් ඇතිව තිබේ

Exit mobile version