අරලගංවිල මහවැලි බීජ ගොවිපොළේ වී ගබඩාව රැකගන්න ඇටවූ විදුලි රැහනක ගැටී වන අලියෙක් මරුට… ගොවිපල කළමණාකරු අත්අඩංගුවට!

මනම්පිටිය නිමල් ජයරත්න –  

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් අරලගංවිල මහවැලි බීජ ගොවිපොළේ වී ගබඩාව ආරක්ෂා කර ගැනීම සඳහා, වෙසක් පොහෝදා  ඇද තිබූ  අනවසර විදුලි රැහැන් පද්ධතියේ ගැටී වන අලියකු මියයෑමේ සිද්ධියට සම්බන්ධ එම බීජ ගොවිපලේ කළමනාකාරවරයා අද  ( 8 ) වෙනිදා පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව වෙහෙරගල වනජීවී කාර්යාලය සඳහන් කරයි.

ඉකුත් වෙසක් පොහෝ දිනයේ ගොවිපොළේ වී ගබඩාව  වන අලින්ගෙන් ආරක්ෂා  කරගැනීම සඳහා අදාල කළමනාකාරවරයා විසින් නීති විරෝධී අයුරින් ඇද තිබූ විදුලි කම්බි වල ගැටී  අවුරුදු 35 ක් පමණ වයසැති වන අලියෙකු එම ස්ථානයේ මියගොස් ඇති බවත්, අත්අඩංගුවටගත්  කළමනාකාරවරයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 8 ) වෙ  ඉදිරිපත් කිරීමට  කටයුතු කර ඇති බව පිඹුරත්තෑව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ජී.   වීරසේන   අප කළ විමසීමකදී පැවසීය,

සැකකාර කළමනාකාරවරයා මහවැලි බී කලාපයේ රජකාරි කරන  පලාපත්වල මාතලේ ප්‍රදේශ්යේ පදිංචිකරුවෙකු වන බවද අඩවි ආරක්ෂක නිලධාරියා  කීය.

මීට  අමතරව වෙසක් සතියේම දිඹුලාගල බදනාගල ගම්මානයේ ලිඳක් අසල වතුර මෝටරයක් සඳහා ඇද තිබු අනවසර විදුලි රැහැනක ගැටී  අවුරුදු දහයක් පමණ වයසැති අලි පැටියකු  මියයෑමෙ  සිද්ධියට සම්බන්ධ එම නිවසේ හිමිකරු අත්අඩංගුවටගෙන පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.


මහවැලි බී කලාපයේ පමණක් වෙසක් සතිය ඇතුළත වන අලි ප්‍රහාරවලින් මනම්පිටියේ සහ  අරලගංවිල යන ප්‍රදේශවල කිරි ගොවියෙකු සහ ගොවිමහතෙකු මියගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වන අලින් ජීවිත හා දේපළ රැසකට හානි සිදුකර ඇති බවත්, මේ දිනවල වන අලි ගම්වැදීම වැඩිවී ඇති බවත්  පොළොන්නරුව, මනම්පිටිය, පිඹුරත්තෑව, වැලිකන්ද, යන වනජීවි කාර්යාලවලට නිලධාරීහු සඳහන් කළහ.

Exit mobile version