අයි.ඩී.එච් රෝහලින් පැන්න ඇහැලියගොඩ කාන්තාවට සිදවුයේ කුමක් ද?

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටියදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර සිටියදී ඉකුත් 19 වෙනිදා රෝහලින් පළාගිය කාන්තාව මෙතෙක් සොයා ගැනීමට සමත්ව නැත.

විසිපස් වියැති එම කාන්තාව ඇහැලියගොඩ පදිංචිකාරියකි. එක්දරු මවකි. ඇහැලියගොඩ පොලීසිය ඉකුත් ජූලි 22 වෙනිදා ඇයව අත්අඩංගුවට ගන්නේ හෙරොයින් මිලි ග්‍රෑම් 1340 ක් සමගිනි. ඒ ඇය මත්කුඩු බෙදා හරිමින් සිටියදීය. ඇය මත්කුඩු බෙදාහාරිමින් සිට ඇත්තේ මාස දෙකහාමාරක් වයසැති සිය දරුවාද කරපින්නාගෙනය. ඇයව අත්අඩංගුවට ගැනීමෙන් පසු දරුවාව පියාට භාරදීමට පොලීසිය උත්සාහ ගත්තද දරුවාව වෙන් කිරීමට ඇය කැමැත්තක් දක්වා නැත. එබැවින් පොලීසියට සිදුව ඇත්තේ දරුවා ද සමග ඇයව අධිකරණයට ඉදිරිපත් කරන්නටය. දරුවා ද සමග ඇයව රක්ෂිත බන්ධනාගාර වන්නේ අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුවය.

තොරු මොරු නිදැල්ලේ..

පොලීසිය කියන ආකාරයට අනුව ඇයට සැමියන් දෙදෙනෙකි. පළමු සැමියාගෙන් වෙන්ව ඇය ඇහැලියගොඩ පිහිටි ලෑලි මඩුවක දෙවැනි සැමියා සමගින් ජීවත් වන්නේ නීත්‍යානූකූල විවහායකින් තොරවය. පළමු සැමියා ඉන්න හිටින තැනක් ගැන මෙතෙක් කිසිවක් පොලීසිය සොයා බලා නැත. එහෙත් දෙවැනි සැමියා නම් ඇය පදිංචිව සිටි ඇහැලියගොඩ යාය පහේ නිවසේ ජීවත් වන බව කියයි. එම පුද්ගලයා කුළියක් මලියක් කරමින් ජීවත් වන්නෙකි.


පොලීසිය කියන ආකාරයට මෙම කාන්තාව මත්කුඩු ජාවාරමේ නිරතවනවාට අමතරව ‍සුලු සොරකම් වලට ද සම්බන්ධය . ඇයට එරෙහිව නිවෙස් බිදුම් සහ  කොල්ලකෑම් චෝදනා ද පොලිස් පොත්වල ලියැවී ඇත්තේය. පොලීසිය කියන්නේ ඇය සොරකම් කර උපයාගන්නා මුදල් වලින් මත්කුඩු මිලදීගෙන ඒවා අලෙවි කරමින් වැඩි මුදලක් උපයා ගන්නා බවකි.

සිල්ලරයට විකිණිමට ඇය එම මත්කුඩු මිලදී ගන්නේ කාගෙන්දැයි පොලීසිය කියන්නේ නැත. පොලීසිය පැත්තෙන් සඳහන් කරන්නේ ඒ බවක් විමර්ශන වලින් අනාවරණය වී නැති බවකි. පොලීසිය හාල් මැස්සියක් වන මෙම කාන්තාව අල්ලා මත්කුඩු ඇයට අලෙවි කළ තෝරුන්ට මෝරුන්ට නිදහසේ ඉන්නට ඉඩ හැර ඇති බව ඒ අනුව සාධාරණ සැකයක් ඇතිවීම වැලැක්විය නොහැකිය.

දරුවාත් සමග ඇප නැතිව බන්ධනාගාරයේ..

ඇය ඇප නොමැතිව මාස කිහිපයක්ම බන්ධනාගාරයේ දරුවත් සමග සිටියාය. ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වන්නේ මෙයට දින 11 කට පෙරය. ඒ බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කළ පී.සී.ආර්. පරීක්ෂාවකිනි. එදා කුරුවිට බන්ධනාගාරයෙන් පමණක් ආසාදිතයින් 15 හමුවී තිබුණේය. ඒ අයගෙන් 13 ක්ම කාන්තා රැඳවියන්ය. අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර සදහා ඇයව යොමු කෙරන්නේ ඒ අනුවය. ඒ සිය දරුවාද සමගිනි.

අයි.ඩී.එච්. රෝහලේදී ඇයටත් දරුවාටත් රෝහල් කාර්ය මණ්ඩලය සලකන්නේ කිසිසේත්ම හිරකාරියකට මෙන් නොව, ආදරය කරුණාව දයාව ඒ අයට රෝහලින් ලැබුණේය. එහෙත් ඇය ඉකුත් 19 වෙනිදා රාත්‍රී 9.00 ට පමණ රෝහලින් පළායන්නේ වෛරසයට ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මෙසේ කොව්ඩි 19 වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටියදී අයි.ඩී.එච්. රෝහලින් පළාගිය පළමු රෝගියා වන්නේ ඇය පමණක් නොව. මෙයට පෙර කිහිප දෙනෙක්ම පළා ගියේය. ඒ සෑම අයෙක්ම පිරිමින්ය. ඇය රෝහලින් පළායන පළමු කාන්තාවයි. අයි.ඩී.එච්. රෝහලේ සිට ඇය කෙලින්ම යන්නේ ඇහැලියගොඩ යාය පහේ පිහිටි නිවසටය. ඇය බස් රථයකින් ඇහැලියගොඩට පැමිණ බව විමර්ශන වලින් අනාවරණය වී ඇත. අයි.ඩී.එච්. රෝහලේ සිට ඇය බස් රථයට ගොඩවන ස්ථානය වෙත ගමන් කර ඇතැයි සැකකරන්නේ ත්‍රී රෝද රථයකිනි.

දරුවාව නිවසේ අතහැර දැමූ අය අනතුරුව බස් රථයකට ගොඩවී පැන ගන්නේ කිරිඇල්ලටය. එතැනින් ඇයට වෙනත් තැනකට පළායන්නට ඉඩක් නැත්තේ බස් රථයේ කොන්දොස්තරවරයා ඇයව හදුනා ගෙන බස් රථයට ගොඩ නොකර ගැනීම හේතුවෙනි. ඒත් එක්කම කොන්දොස්තරවරයා ඇය ගැන පොලීසියට දැනුම්දීමත් සමග පොලීසිය එහි ආවේය. ඇය ඒ අතර තුර පළායන්නේ කුඹුර යායක් කෙළවරේ පිහිටි වනරොදකටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසිය ගම් වැසියන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද සමග එක්ව එම වන රොද 20 වෙනිදාත් 21 වෙනිදාත් දවස පුරාම සෝදිසියට ලක්කළද ඇය ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඉඩක් නොවීය. පොලීසිය සැකකරන්නේ ඇය වනරොදිනුත් පළාගොස් ඇති බවටය. දැන් ඇය කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තකරමින් කෙහේ ඇද්දැයි කාටත් ගැටලුවකි.

Exit mobile version