අම්මයි තාත්තයි මාව මහන කරන්න හැදුවා… ගෙදර යන්න බෑ කියලා මාමා එක්ක ගියේ ඒ නිසා… පැහැරගත් බව කී එප්පාවල පොඩි එකා කියයි!

මව සහ පියා තමන් මහන කිරීමට  ගත් තීරණය තමන් අසා සිටීම හේතුවෙන් නිවසට යෑමට අකමැති වූ බවත්  මාමා තමන්ව ගෙන ගියේ තමන් ගෙදරට යෑමට නොහැකි බව කියා ඔහු පසුපසින් පැමිණි නිසා බවත් පැහැරගත් බව කී එප්පාවල 09 හැවිරිදි කුඩා දරුවා අද පොලිසියට ප්‍රකාශ කළේය.

දරුවා   සිය නිවසට යෑම ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී ඇත්තේ දරුවාගේ දෙමව්පියන් ඔහුව මහණ කිරීමට ගත් තීන්දුවක් දරුවා අසා සිටීම නිසා බව විමර්ශන වලින් හෙළිවන්නේ යැයි කී  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවේ  දරුවා සිය කැමැත්තෙන්ම මේ පුද්ගලයා සමග ගොස් ඇති බවත් දරුවාට නිවසට යෑම ප්‍රතික්ෂේප කර ඇති නිසා ඔහු දරුවා රැගෙන ගොස් ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වන බවය.

එප්පාවල කිරලෝගම ගැටදිවුල්ල ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි මෙම දරුවා පැහැරගත් බවට චෝදනා එල්ල වූ  සැකකරු සහ ඔවුන්ට නවාතැන් සපයමින් සැඟවී සිටීමට උපකාර කළ නිවෙස්හිමි රිකිල්ලගස්කඩ නගරසභාවේ රියදුරා  ජනවාරි 04 වනදා තෙක් රක්ෂිත  කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් එම්. එල්. නුවන් කෞෂල්‍ය නියෝග කළේය.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද පස්වරුවේ තඹුත්තේගම මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට රැගෙන ගොස් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිනි.


මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 09 හැවිරිදි පිරිමි දරුවා පැහැර ගෙන යාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන තලාව ප්‍රදේශයේ පදිංචි අසේල ප්‍රියන්ත නම් විදුලි කාර්මික ශිල්පියා සහ ඔවුන්ට එප්පාවල ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටීමට උපකාර කළ ජොන්ස්ලන්ඩ් වතුයායේ අදාළ නිවසේ හිමිකරු වන අමිල සම්පත්  නැමැති පුද්ගලයින්ය.

සැකකාර විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන ගිය දින සිට ඔහුට අයත් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් ඉන් පසු දරුවා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයාගත නොහැකිව තිබුණි.

නමුත් ඊයේ (23) පස්වරු 6.30 ට පමණ එම දුරකථනයෙන් හදිසියේම දරුවාගේ මවට ඇමතුමක් ලැබී තිබේ.

එහිදී දරුවාව පැහැර ගත් විදුලි කාර්මික ශිල්පියා පවසා ඇත්තේ දරුවා හොඳින් සිටින බවය. ඔහු පවසා තිබුණේ දරුවා ඉක්මනින්ම ඔහුගේ මව වෙත ලැබීමට සලස්වන බවය. දරුවා මවට භාර දෙන තුරු පොලිසියේ දමා ඇති පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙසත් ඉන් අනතුරුව තමන් ඕනෑම අභියෝගයට මුහුණ දෙන බවත් ඔහු මවට කියා තිබිණි.

ඔවුන් තලාව ප්‍රදේශයේ රැඳීසිටින බව පැවසුවද අදාළ දුරකථන අංකය ඔස්සේ ලැබුණු ඇමතුම පරීක්ෂා කර එය රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ භාවිත වන බවට තොරතුරු අනාවරණයවීමත් සමගින් ඒ ඔස්සේ පරික්ෂණ පවත්වා දරුවා හා දරුවා පැහැර ගත් පුද්ගලයා රැඳී සිටි රිකිල්ලගස්කඩ, ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවස ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ වටලා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Exit mobile version