ශ්‍රියානි විජේසිංහ –
නිසි ක්‍රමවේදයෙන් බැහැරව දෙහිඅත්තකණ්ඩිය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට ලබා දී ඇති ස්ථානමාරුව වහාම අවලංගු කරන ලෙස ඉල්ලා ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් සොයා බැලීමට සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම රෝහලට යැවීමට සෞඛ්‍ය ලේකම්වරයා ඊයේ (2) දිනයේදී කටයුතු කරන බව පැවසුවද එම කණ්ඩායම යවා නැති බැවින් තමන් ආරම්බ කළ වර්ජනය තුන්වන දිනටත් පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම වැඩ වර්ජනයට අම්පාර දිස්ත්‍රික්ක රෝහලද අද දිනය තුළ එකතු වන්නේද නැද්ද යන්න පිලිබඳව මේ මොහොත වන විටත් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසා සිටියි.
යම් හෙයකින් අම්පාර දිස්ත්‍රික්ක රෝහලද වැඩවර්ජනයට සහභාගි වුවහොත් අම්පාර දිස්ත්‍රික්කය පුරා සියලුම රෝහල් වැඩවර්ජනය එකතුවන බවත් මේ හේතුවෙන් බාහිර රෝගී අංශ, සායන කටයුතු සහ සැලසුම්කළ සැත්කම් මුළුමනින්ම නතර වීම හේතුවෙන් රෝගිහු 50000ට අධික පිරිසක් අපහසුතාවට පත්වනු ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.
කෙසේ නමුත් වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි සේවාවන් ඒ අයුරින්ම සිදුකරන බවද ලේකම්වරයා අවධාරණය කරයි.
නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව සිදුකරන වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පරිපාලනයට නොහැකි වී ඇත්තේ කිසියම් දේශපානික බලපෑමක් නිසාදැයි සැකයක් මතුව ඇති බවද හෙතෙම පවසා සිටියි.
පැයකින් දෙකකින් විසඳිය හැකි පරිපාලන ගැටලුවකට දින ගණනාවක්ම ගත වීමෙන් රෝගීන්ට මහත් අපහසුවක් සිදුවන බවත් එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාරගත යුතු බවත් වෛද්‍ය සුගතදාස පෙන්වා දෙයි.







