“අපේ ආණ්ඩුවේ“  පරිසර පොලිස් ලොක්කා පරිසර අපරාධයක් කළ පොහොට්ටු  නාගරික  මන්ත්‍රිනිය නඩු නැතිව බේරයි!

බලපෑම් කර පරිසර අපරාධකරුවන් ගලවා ගත් තුන්වන අවස්ථාව මෙයයි...

නාගරික මන්ත්‍රීවරිය විසින් විනාශ කරමින් සිටි වගුරු බිම් භූමිය...

මුතුරාජවෙල වගුරු බිමට අයත් ඉඩමක් නීති විරෝධී ආකාරයෙන් ගොඩ කරමින් සිටි පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිනියක්     ඉඩම් සංවර්ධන සංස්ථාවේ නීතිය බලාත්මක කිරීම් ඒකකය විසින්   පොලිසිය වෙත භාර දුන් අවස්ථාවේදී  පොලිසියේ පරිසර අංශයේ  ඉහළම නිලධාරියෙකුගේ   බලපෑම මත ඇයව අත්අඩංගුවට ගැනීමකින් තොරව නිදහස් කිරීමට කටයුතු කර ඇති බව  පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම නිලධාරියා මැදිහත් වීමෙන්  බේරී ගියේ  ජාඇල ඉඳිපිටිය ක්‍රිඩාංගණයට සහ අධිවේගී මාර්ගයට සමීපව පිහිටි ඉඩමක්  නීති විරෝධි ආකාරයෙන් ගොඩ කරමින් සිටියදී  අත්අඩංගුවට පත් නාගරික මන්ත්‍රීවරියකි.  එම පරිසර අපරාධය සිදුවන ස්ථානය   ඊයේ (15) ඉඩම් සංවර්ධන සංස්ථාවේ බලාත්මක කිරීමේ ඒකකය විසින් වටලනු ලැබූ අවස්ථාවේ මේ සිදුවීම සිදු වී තිබේ.

ඒ අවස්ථාවේදී මෙම නාගරික මන්ත්‍රිනිය    අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කඳාන පොලිසියට භාර දීමට එම ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ.


එම අවස්ථාවේ මෙම නාගරික මන්ත්‍රීවරිය පරිසර ඒකකය භාර පොලිසියේ ඉහළ නිලධාරියකුට මෙම සිදුවීම පිළිබඳව වාර්තා කර තිබේ. ඊට පසු මෙම පොලිසියේ පරිසර අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා දුරකථනය ඔස්සේ මෙම සිදුවීමට මැදිහත් ව  ඇය අත්අඩංගුවට ගැනීමකින් තොරව නිදහස් කරන ලෙස පොලිසිය වෙත බලපෑම් කර තිබේ.

ඒ අනුව ඇය නිදහස් කිරීමට  කඳාන පොලිසියට සිදු වී ඇත.

පරිසරයට හානි කරන පුද්ගලයන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී පොලිසියට බලපෑම් කළ මෙම පොලිස් පරිසරය නියෝජනය කරන ඉහළ පොලිස් නිලධාරියා මෙවර මෙලෙස අත්අඩංගුවට ගැනීමට බාධා කළ තුන්වැනි අවස්ථාව බවද සඳහන් වේ.

මීට පෙරද නීති විරෝධී ඉඩම් ගොඩ කිරීමේ අවස්ථා දෙකකදී  අදාළ සැකකරුවන්ද ඔහුගේ බලපෑම් මත මුදා හැරීමට පොලිසියට  සිදුව ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෑතකදී කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසල පරිසර විනාශයට එරෙහිව  තරුණ තරුණියන් පිරිසක් දැවැන්ත සිතුවමක් ප්‍රදර්ශන කරමින් සාමකාමී  විරෝධතාවයක් කළ අවස්ථාවේ දී නිල ඇඳුම ඇඳගෙන   ප්‍රසිද්ධ  මාධ්‍ය හමුවේ  “මේ අපේ ආණ්ඩුව“  යැයි  ප්‍රකාශයක් ලබා දී දැඩි කතා බහට ලක්වූ නිලධාරියා මොහු බව   පොලිස් ආරංචි මාර්ග කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version