දිනසේන රතුගමගේ –
උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ට මුහුණ පෑමට ඇති ගැටලු විසදීමටත් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත් ඉන්දියාවෙන් පැහැදිලි මැදිහත් වීමක් ලැබෙමින් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා ඊයේ 19 දා පැවසීය.
සම්පන්ධන් මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග කොළඹදී පැය දෙකක පමණ කාලයක් විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර එම සාකච්ඡාවෙන් පසුව මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය තානාපති ගෝපාල් බග්ලේ, නියෝජ්‍ය තානාපති විනෝද් ජාකොබ්, දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රධාන ලේකම් බානු ප්‍රකාශ් සහ දෙමළ ජාතික සන්ධානයේ සභාපති ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා සහ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.
ඉන්දු -ලංකා සාම ගිවිසුමෙන් පසුව මෙරට සිදූ වූ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ප්‍රශ්න විසඳීමක් සිදු නොවන නිසා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මේ කාරණය සම්බන්ධයෙන් මැදිහත් වී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බලතල වලට වඩා වැඩි බලතල ප්‍රමාණයක් පළාත් සභා ව්‍යුහයට එකතු කරන ලෙසත් ඒ ඔස්සේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙසත් දෙමළ ජාතික සන්ධානය ඇතුලු පක්ෂ කීපයක් විසින් කළ ඉල්ලීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බව මෙම සාකච්ඡාවේදී පැහැදිලිවූයේ යැයි සම්පන්ධන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ඔහු රජය සමගත් දෙමළ ජාතික සන්ධානය සමගත් මේ සම්බන්ධයෙන් ඉතා දීර්ග වශයෙන් කරුණු සාකච්ඡා කොට යම් තීරණයකට එළඹෙන බවට මේ වන විට විශ්වාසයක් ගොඩ නැගී ඇති බව කී සම්පන්ධන් මන්ත්‍රීවරයා අනිවාර්යෙන්ම මේ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට ඉන්දියාවට අයිතියක් හා වගකීමක් ඇති බවද පැවසීය.