අප්‍රේල් 25 පළාත් පාලන ඡන්දය නොපැවැත්වෙන බව ගැසට් නිවේදනයකින් නිල වශයෙන් දැනුම් දෙයි!

සැලසුම් කර තිබූ පරිදි අප්‍රේල් 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම කළ නොහැකි බවට  දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් අප්‍රේල් මස 11 වැනිදා දාතම සහිතව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වෙන බවට මීට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබූණ බවත්    පළාත් පාලන ඡන්ද විමසීමට සඳහා නාමයෝජනා කැඳවීම ජනවාරි මස 18 වනදා සිට 21 වනදා දක්වා සිදුකෙරුණු බවත් එම ගැසට් නිවේදනයේ දැක්වේ.

ඉන් පසු පළාත් පාලන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 දා දක්වා කල් දමන බව දන්වමින් තේරීම්භාර නිලධාරීන් විසින් මාර්තු 08 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එහි දක්වා තිබුනේ  මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් නොකිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි ඡන්ද විමසීම  කල් දමන බවය.

නව ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ  පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරයට නොහැකි වූ කරුණ තවදුරටත් විසඳී නැති බැවින් අප්‍රේල් 25වන දා ද ඡන්දය නොපැවැත්වෙන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙනු ලබන දිනය හෝ ඡන්ද විමසීමට අදාළව ගොනුකර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දු අනුව නව දිනයක් නම් කිරීම සිදුවන්නේ නම් එකී දිනය හෝ එම දින දෙක අතරින් පළමුව එළඹෙන දිනයේ දී පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් නියම කරන බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

 

Exit mobile version