ඕනෑම පාතාලයෙකුට, අපරාධකරුවෙකුට ජාවාරම්කරුවෙකුට කළු සල්ලි සුදු කරගැනීම සඳහා අවස්ථාවක් ඇති බවත් අවශ්‍ය වන්නේ නාමල් ගේ මේසය මත ඒ මුදල් තිබුණු බව පැවසීම පමණක් බවත් අද නාමල් රාජපක්ෂ පැවසුවේය.
කපිල චන්ද්‍රසේන සම්බන්ධව ජාත්‍යාන්තර අධිකරණයකදී පවා ඔප්පුවුන එයා බස් ගනුදෙනුවේ දී සිදුවූ ඩොලර් මිලියන ගණනක අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධව දේශීය විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවේ දී ඔහු මේ බව මාධ්‍යයට කීවේය.
නාමල් කීවේ මෙවැන්නකි.
“යහපාලන ආණ්ඩුවේ දූෂණ මර්ධන කමිටුවේ ඉන්න අයමයි දැන් ඉන්නේ. පහුගිය දවස්වලත් මම ආවා. මගේ මේසෙ උඩ මිලියන 200ක් තියලා ගිහින් මහත්තයෙක්. මේ පාර මිලියන කීයක් මේසෙ උඩ තියලා ගිහින්ද කියලා බලන්න ඕන.
“අද රටේ ඕනෑම පාතලයෙක්ට, මිනී මරුවෙක්ට, මංකොල්ලකාරයෙක්ට රාජ්‍ය දේපල අවභාවිතා කරන කෙනෙකුට ලේසිම දේ තමයි රාජපක්ෂලගේ පිට ඒක පටවලා ඇඟ බේරගන්න එක. ඒක කරන්න පුලුවන්. ඔන්න චාන්ස් එකක් තියනවා කෝටි ගණන් සල්ලි තියන අයට පෙන්වන්න විදිහක් නැතිනම් නාමල්ගේ මේසේ උඩ තියලා ගියා කිව්වනම් හරි… “නාමල් රාජපක්ෂ කීවේය.
එහෙත් මේ සම්බන්ධව ඉතා පැහැදිලි ප්‍රකාශයක් කළ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල කීවේ රජයට දේශපාලන පළිගැනීම් සඳහා කිසිම අවශ්‍යතාවයක් නොමැති බවය.
අපිට එහෙම කිසිදු අවශ්‍යතාවයක් නෑ. දේශපාලන පලිගැනීම් කරනවා නම් මැතිවරණයෙ දි අපි එහෙම හැසිරෙන්නේ නෑ. කිසිම දේශපාලන පළිගැනීමක් නෑ. කිසිම විමර්ශනයක් දේශපාලන අවශ්‍යතා මත වෙන්නේ නෑ. සියලු දේ වෙන්නේ පොලිස්පති තුමා යටතේ. ඔවුන් කරන විමර්ශනවලට තමයි යම් යම් පුද්ගලයින් කැඳවන්නේ. ඒ නිසා කිසිවෙක් කැඳවීම පිළිබඳ විශේෂත්වයක් නෑ අපට.
නීතිය ක්‍රියාත්මක කරන අය විමර්ශනවලට සම්බන්ධ පුද්ගලයින් කැඳවීම දෛනිකව සිද්ධවෙයි ඉදිරියට. ඒ හැර දේශපාලන අවශ්‍යතාවයන් මත කිසිවක් සිද්ධ වෙන්නේ නෑ. නාමල් රාජපක්ෂක ද වෙනත් කෙනෙක් ද අදාල නෑ. විමර්ශනයට අදාලව පුද්ගලයින් කැඳවීම පොලිසියේ කාර්යභාර්යය.







