අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හය වැනි මහෝපාධ්‍යායන් වහන්සේ පත් වෙති..

කනත්තේගොඩ සද්ධාරතන හිමි

අනුරාධපුර – පර්සි කුරුනේරු

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනව මහෝපාධ්‍යායන් වහන්සේ (උප කුලපති) ලෙස එම විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පිඨයේ පීඨාධිපති මහාචාර්ය පුජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කොට ඇත.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උත්තරීතර සභාව සහ පාලක සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම පෙරේදා (27) සිදු කොට තිබේ.

මහාචාර්ය පුජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.




මහාචාර්ය පුජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ මාතර අනගාරික ධර්මපාල නගරයේ අශෝකාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති සහ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලෙසද කටයුතු කරනු ලබති.

වර්ෂ 2015 ජුලි මස 11 වෙනි දින සිට 2019.01.23 වෙනි දින දක්වා කාලය තුළ එම විශ්වවිද්‍යාලයේ වැඩබලන මහෝපාධ්‍යාය ලෙස සේවය කර ඇති කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ එහි හයවෙනි මහෝපාධ්‍යයන් වහන්සේද වෙති.

බුදුහාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙකි, බුදුසමය සහ කායික වෙදකම, බුදුසමය සහ පවිත්‍රතාව සහ දැහැමි දිවියට දහම් සිතුවිලි යන ග්‍රන්ථවල කතුවරයා වන්නේද උන්වහන්සේය.

මහාචාර්ය පුජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ත්‍රිපිටකවේදී උපාධිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති සහ දර්ශනපති පශ්චාත් උපාධිය, චීනයේ මින්ග්ෂු (Mingzu) විශ්වවිද්‍යාලයේ දර්ශනසූරී පශ්චාත් උපාධිය යන උපාධි සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරා ඇත.

දකුණු පළාතේ ශාසනික ආගමික සමාජයීය සහ අධ්‍යාපනික සේවාවන් රැසක් ඉටු කළ සහ ඉටු කරමින් සිටින උන්වහන්සේ බෞද්ධ දර්ශනය විෂය සහ බුදුදහම පිළිබඳ හසල දැනුමකින් සන්නද්ධ වියත් දේශකයාණන් වහන්සේ නමකි.

Exit mobile version