අනාගත ව්‍යසන වලක්වා ගන්න… කියන තැන්වල භූ කම්පන මාන සවි කර දෙන්න… මහාචාර්ය අතුල සේනාරත්න

ශ්‍රී ලංකාව තුළ  භූ කම්පන සිදුවන්නේ ද නැද්ද යන්න ගැන නිශ්චිත නිගමනයකට පැමිණීමට නම් ජලාශ ආශ්‍රිතව සේම භූ පැලුම් සිදුව ඇති ස්ථානවල භූ කම්පන මාන සවිකිරීම අත්‍යාවශ්‍යය කරුණක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා සමීක්ෂණ අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න  පවසයි.

ඉතිහාසයේ දී මෙරට දරුණු භූ කම්පන ඇති නොවූ බවට සාධක ලෙස රජරට ඇති ජේතවනාරාමය රුවන්වැලිසෑය ඇතුළු විශාල දාගැබ් දුටුවිට නිගමනය කළ හැකි වුවත් පවතින පරිසර තත්වයන් යටතේ ඉදිරියේ දී දරුණු භූ කම්පන ඇති නොවේ යැයි නිශ්චය වශයෙන් කිව නොහැකි බවද මහාචාර්යවරයා කීය.

ඔස්ට්‍රේලියාව වැනි රටවල මෑතදී සිදුවූ දරුණු භූ කම්පන   හේතුවෙන් ලෝකයේ සෙසු රටවල තත්ත්වයන් පිළිබඳ මේ වන විට පර්යේෂණ සිදුකරන බවද හෙතෙම කීය.


ශ්‍රී ලංකාවේ වුවද කිලෝමීටර් දෙක තුන විසිරී ගිය භූගත පැලුම් දක්නා ලැබෙන බවත් මෙම පැලුම් ආශ්‍රිතව සිදුවන භූමියේ වෙනස්කම් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකළ යුතුව ඇති බවත් මහාචාර්යවරයා  කීය.

ශ්‍රී ලංකාවේ භූ විෂමතාවය සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් සනාථ වී ඇති පරිදි ශ්‍රී ලංකාවේ පොළොව වරින් වර උස් පහත් වන බවත්  එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස නිගමනය කර ඇති බවත් කී මහාචාර්ය අතුල සේනාරත්න කඳුකරයේ බොහෝ ප්‍රදේශවල ඇති පැලුම් හේතුවෙන් ෙපොළව චලනය වීමට ඉඩ ඇති බවද කීය.

ඉකුත් වසර දෙක තුන ඇතුළත ලංකාවේ ධ්‍යම පළාතේ හා දකුණු පළාතේ සිදු වූ භූකම්පන සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළැඹීමට නොහැකි වූ බැවින් ඉදිරියේදී සිදුවිය හැකි තත්වයන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද මහාචාර්ය සෙනාරත්න කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


භූ කම්පන මාන  සවි කිරීම සම්බන්ධයෙන් වසර කිහිපයක සිට අමාත්‍යාංශයට සිය සැලසුම් ඉදිරිපත් කර ඇති බවත් ඉදිරියේදී ඒවා සවි කිරීමට අමාත්‍යංශ මට්ටමින් පියවර ගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version