අන්තිම අංකයට ඉන්ධන දෙන්නේ අගෝස්තු 01 දා තෙක් පමණයි…

Kanchana-W

අංක තහඩු ක්‍රමය අනුව ඉන්ධන නිකුත් කිරීම වලංගු වන්නේ එළඹෙන අගෝස්තු මස පළමු වැනි දා තෙක් පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ටවිටර් පණිවිඩ මාලාවක් නිකුත් කරමින් පවසයි.

එළඹෙන අගෝස්තු මස පළමු වැනි දා සිට QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය පමණක් දැඩිව ක්‍රියාත්මක කරන බව ඔහු කියයි.

එසේ ම ජාතික යොවුන් සේනාංකය සහ ජාතික තරුණ සභාවේ සාමාජිකයින් සහ ස්වේච්ඡා සේවකයන් ඉදිරි දින 10 සඳහා ද ඉන්ධන පිරවුම්හල්වල වැඩසටහනට සහාය දක්වන බව ඔහු  පවසයි.

කෙසේ නමුත් තාක්‍ෂණික ගැටලු නිරාකරණය කරන තෙක් පහසුකම් නොමැති හෝ තාක්‍ෂණික දුෂ්කරතා ඇති ඉන්ධන පිරවුම්හල්වල දී අවසාන ඉලක්කම් ක්‍රමයට අනුව පාරිභෝගිකයන්ට ඉන්ධන කෝටාව ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.


නමුත් මේ වන විට පිරවුම්හල්වලින් 60%ක් ම දැනට QR කේත පරීක්ෂාව සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණ දැනුමෙන් සන්නද්ධව කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කරයි.

එසේ ම සියලු ම සිපෙට්කෝ සහ ලංකා අයි. ඕ.සී නියෝජිත ඉන්ධන පිරවුම්හල්වලින් අමාත්‍යංශය ඉල්ලා සිටින්නේ අදාළ QR කේත පරික්ෂා කිරීමේ ක්‍රමවේදය සඳහා කඩිනමින් යොමු ලෙසය.

තව ද මෙතෙක් ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි නො වූ මහජනතාවට කඩිනමින් ඒ සඳහා ලියාපදිංචි වන ලෙස ද අමාත්‍යවරයා මෙම ට්විටර් පණිවිඩ මාලාව ඔස්සේ ඉල්ලා  ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

Exit mobile version