අද යළිත් පිරිපහදුව වැසේවි… සාහසික කුමන්ත්‍රණයක් ගැන වෘත්තීය සමිති කියයි….

කීර්ති ප්‍රනාන්දු – 

අද (16) නැවත තෙල් පිරිපහදුව වැසෙනු ඇති බවත් මේ ක්‍රියාත්මක වෙමින් ඇත්තේ ඩොලර් හිඟය නොව  සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඈවර කිරීමේ සාහසික කුමන්ත්‍රණයක් බවත් ඛණිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ලංකාසරට පැවසීය.

ඔහු පවසන්නේ මේ වනවිට පිරිපහදුවට ගෙනවිත් ඇති ඌරල් වර්ගයේ තත්ත්වයෙන් බාල බොරතෙල් හේතුවෙන් භූමිතෙල් ඩීසල් නිශ්පාදනය අඩුවී දැවිතෙල්  වැඩි වී ඇති බවත් එම දැවිතෙල්වල ද සල්ෆර් ප්‍රතිශතය ඉහළ යෑම නිසා විදුලිබල මණ්ඩලයට ඒවා අලෙවි කරගැනීමේ බරපතල ප්‍රායෝගික අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්ය. මේ වනවිට ඔක්ටේන් 80 – 85 ඉන්ධනවලින් පිරිපහදුවේ ටැංකි පිරී ගොස් ඇති බව පවසන සභාපතිවරයා මේ  ඉන්ධන වැඩි දියුණු කර ඔක්ටේන් 92 මට්ටම රැගෙන ඒම සඳහා ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කළ යුතු නමුත් එය සිදුනොවන බව පෙන්වා දුන්නේය.

පාලකයින්ගේ  අවසාන සැලැස්ම දැනට සම්මත වී ඇති කැබිනට් පත්‍රිකාවට සමගාමීව තමන් විසින් අටවා ගත් සමාගම් කීපයක් වෙනුවෙන් රටේ ඉන්ධන ඒකාධිකාරිය ලබා දීම සඳහා  ඉන්ධන හිඟයෙන්  පීඩාවට පත් ජනතාව තුළින්ම ඉල්ලීමක්  මතුකරගැනීම බව පෙන්වා දුන් සභාපතිවරයා අප ගතකරමින් ඉන්නේ අතිශය දුෂ්ඨ පාලනයක බරපතල කොල්ලකෑමක් මධ්‍යයේ බව කීවේය.

ඛණ්ජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මෙසේ ද පැවසීය.


“දින 70වකට වැඩි කාලයක් පිරිපහදුව වහලා තිබුණා. පිරිපහදු සේවකයින් එකාවන්ව එකතුවෙලා බොරතෙල් ගෙන්වා ගැනීම සඳහා  තමන්ගෙ කෑම පැයේ අරගල කළා. ඒ තත්ත්වය තුළ තමයි  බොරතෙල්  නැවු තුනක් ගෙනෙන්නෙ.‘

“මේ නැවු තුනම ඌරල් වර්ගයේ බොරතෙල් ඌරල් කියන්නෙ බොහොම බාල ප්‍රමිතියක් සහිත බොරතෙල් විශේෂයක්.“

“මේ නිසා පිරිපහදුව බරපතල අපහසුතාවයකට පත් වෙනවා. නිවැරදි බොරතෙල් වෙන්නෙ සයිබීරියන් ලයිට් වර්ගය නැතිනම් මර්බන් කියන බොරතෙල් වර්ගය.“

“ඌරල් එකේ දැවිතෙල් විශාල ප්‍රමාණයක් හැදෙනවා.  ඒකෙ බූමිතෙල්  ඩීසල් අඩුයි. ඒ වගේම දැවිතෙල්වල සල්ෆර් ප්‍රමාණය වැඩි නිසා මේ දැවි තෙල් විදුලිබල මණ්ඩලයට දෙන්න බැරි වෙලා තියනවා.“

“ වරින්වර පිරිපහදුව නැවැත්තීම නිසා ඒ කාල පරිච්ඡේදය තුළ දී හැදෙන අඩු ඕක්ටේන් සහිත ඉන්ධනවලින් පිරිපහදුවේ සියලුම ටැංකි පිරිලා ගිහින් .  80 -85 ඔක්ටේන්වලින් වැඩක් ගන්න පුලුවන් වෙන්නේ 95 ඔක්ටේන් ගෙන්වලා එය 92 දක්වා තත්ත්වය උසස් කිරීමෙන් පමණයි. නමුත් එහෙම දෙයක් වෙන්නෙ නෑ.  පිිරිපහදුවෙ සේවක උද්ඝෝෂණ නිසා ප්‍රමිතියෙන් තොර මොනවා හෝ බොරතෙල් එකක් ගේනවා.“

“එහෙම තත්ත්වයක් තුළත් ගෙනාපු බාල බොරතෙල් ප්‍රමාණය බා ගන්න බෑ. ඒකට මුදල් ගෙවලා නෑ. පහුගිය 23 ආපු බොරතෙල් නැව තව බාලා නෑ. “

“දැන් තත්ත්වය තමයි  පිරිපහදුව අද නවත්වන්න වෙනවා. වරින්වර මෙවැනි ආකාරයෙන් පිරිපහදුව වසා දමන්නේ එය නවත්වා දැමීමේ කුමන්ත්‍රණයක් දියත් වෙනවා කියලා අපි හිතනවා.“

“ඔබ දන්නව ද? අවුරුද්දට ඩොලර් මිලියන 430ක් ප්‍රමාද ගාස්තු වෙනවා. මේ ප්‍රමාද ගාස්තුවලින් බොරතෙල් නැව් 04 වියදම් කරන්න පුලුවන්. තෙල් නැවක් ගේන්න කියලා තීරණය කරලා භාණ්ඩාගාරයෙන් අදාල තීරණය ගත්තට පස්සේ ගොඩබාන්න බඳින්න සල්ලි නෑ කීම ඉතාම අතාර්කික කතාවක් ලෙසයි අප දකින්නෙ. මෙතන තියෙන්නෙ ඩොලර් අර්බුදයට එහා ගිය දෙයක්.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“තෙල් හිඟයක් ඇති කිරීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක්. මේ ආකාරයෙන් ජනතාව පීඩාවට පත් කරලා තමන් තෙල් සංස්ථාව ඈවර කරලා තමන් විසින් මේ වනවිට අටවාගෙන තියන සමාගම් සඳහා ඉන්ධන   අධිකාරිය පැවරීම වෙනුවෙන් කරන සාහසික අපරාධයක් බව අප ජනතාවට කියනවා. ඔබ මේ ගැන දැනුම්වත් වෙන්න.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Exit mobile version