අදිසි බලවේගයකින් නැටවුණු නුවන්, රියාජ් සහ අපි

රියාජ් බදූර්දීන් නිදහස් කිරීම සහ නුවන් වෙදසිංහ මාරු කිරීම සම්බන්ධ සම්පූර්ණ ඇත්ත කතාව

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස පහ හමාරකට අධික කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන සිටි හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් ගේ සහෝදරයෙක් වන රියාජ් බදියුදීන් හිටි හැටියේම අධිකරණයටවත් කරුණු දැක්වීමකින් තොරව සියළු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ගත් පියවර දෙබරයට ගල් ගැසීමක් බදු වන්නේ මෙරට කතෝලික ජනතාවගේ අසාහය නායකයා වන මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් එම නිදහස් කිරීම දැඩිව විවේචනයට ලක් කිරීමත් සමගිනි.

 19:22 Now playing Hon Malcolm-Cardinal-Ranjith
මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරු තුමා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රියාජ් බදියුදීන්ව ඉකුත් අප්‍රේල් මාසයේ 14 වෙනිදා අත්අඩංගුවට ගන්නේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් ලෙසිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න   කොවිඩ් 19 අවදානම ගැන පවා නොතකමින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා රියාජ් අත්අඩංගුවට ගැනීම ගැන පම්පෝරි ගැසුවේ ඔහු සම්බන්ධයෙන් ඉතා වැදගත් සාක්ෂි රැසක් හෙළිකරගෙන ඇති බව සඳහන් කරමිනි. එදා ඔහු මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශ හරහා ජනතාව ඒත්තු ගත්තේ රියාජ් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවකු බවය. ඔහුට එරෙහිව වැදගත් සාක්ෂි  ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා දිගින් දිගටම මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

එදා සාක්ෂි ඇතිව අත්අඩංගුවට ගත්තේ යැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා අද පවසන්නේ එදා ඔහුව අත්අඩංගුවට ගත්තේ සාධාරණ සැකයක් මත බවත් එකී සාධාරණ සැකය තහවුරු නොවූ බැවින් ඔහුව නිදහස් කළ කිරීමට පියවර ගත් බවත්ය.


එදා රියාජ්ගේ අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියේ නිල ප්‍රකාශය පදනම් කර ගනිමින් කතෝලික ජනතාව සිතුවේ කාදිනල් හිමියන් නිරන්තරයෙන් සඳහන් කරන සාධාරණය කතෝලික ජනතාවට ඉටුවනු ඇතැයි කියාය. එම සිතුවිල්ල පසුගිය මහා මැතිවරණයේදීද යම් බලපෑමක් එල්ල කළේය.

දැන් පොලීසිය රියාජ් ගැන කියන්නේ එදාට වඩා හාත්පසින්ම වෙනස් වූ කථාවකි. ජනතාව නම් සිතන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය හා රියාජ් නිදහස් කිරීම අතර යම් සම්බන්ධයක් ඇතැයි කියාය. ඒ 20 වැනි සංශෝධනයට තුනෙන් දෙකේ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවටද යම් සැකයක් මතුව ඇති අවස්ථාවකදී බදියුර්දීන්ගේ පක්ෂයේ මන්ත්‍රී ධුර හතර මේ වන විට පාවෙමින් ඇති බැවිනි. රියාජ් නිදහස් කිරීම පිටුපස යම් දේශපාලන ඩීල් එකක් ඇති බවට සැකයක් අගරදගුරු හිමියන්   මතුකරන්නේ එබැවිනි.

අගදරගුරු හිමියන් මේ දේශපාලන ඩීල් කථාව කියන්නේ පසුගිය 03 වෙනිදාය. ඒ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. උන්වහන්සේ එම මාධ්‍ය හමුව සංවිධානය කරන්නේ රියාජ්ගේ නිදහසින් සිව් වැනි දිනයේදීය. ඒ වන විට රිෂාඩ් බදියුදීන් වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු සමග මන්නාරමේ උත්සවයකටද සහභාගි වී සිටින්නේ යම් දේශපාලන පෙරළියක පෙර නිමිත්තක්ද පෙන්වමිනි.

අගදරගුරු හිමිපානන්ගේ දේශපාලන ඩීල් කථාව තදින්ම දැනෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටය. පැය 24 ක් යන්නට මත්තෙන් ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වන්නේ තමා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය පලුදු නොකරන බවටත් දේශපාලන ඩීල් තමා නොදමන බවටත් කියමිනි.

නුවන් වෙදසිංහ

නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ

ජනාධිපතිවරයාගේ එම ප්‍රතිචාරය නිකුත් වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ  අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගැලවී විසිවන්නේ බස්නාහිර පළාත් උතුරු දිසාවේ (ගම්පහ දිස්ත්‍රික්කය) වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. ඒ වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්කරනු ලබන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවයේ නිරතව සිටි ප්‍රසාත් රණසිංහය. ඔහු කලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද විශේෂ කාර්ය බලකායේද සේවය කර ඇති නිලධාරියෙකි.

එම නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ස්ථිර වශයෙන් පත් කරන විට නුවන් වෙදසිංහ   බස්නාහිර උතුරු දිසා පොලිස් ප්‍රධානියා ලෙස පත්කරනුයේ වැඩ බලන පදනම මතය. ඒ ඔහුට එතරම් කාලයක් බස්නාහිර උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පතිධුරය හොබවන්නට ඉඩ නොලැබෙන බවට ඉඟි පාමිනි. බොහෝ දුරට ඔහු උතුරු නැගෙනහිර පළාතට හෝ පොලිස් මූළස්ථානයට ඔතනින්ද විසිවීමට ඇති ඉඩකඩ බොහෝය.

ජාතික පොලිස් කොමිසමේ ප්‍රකාශය

නුවන් වෙදසිංහ මහතාගේ ස්ථාන මාරුවීම සිදුවන්නේ වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න  විසින් ජාතික පොලිස් කොමිසමෙන් ඉකුත් 03 වෙනිදා සවස කරනු ලබන විශේෂ ඉල්ලීමකට අනුවය. ජාතික පොලිස් කොමිසමේ  ප්‍රකාශකයෙක් සඳහන් කරනු ලැබුවේ නුවන් වෙදසිංහගේ ස්ථාන මාරුවීම සහ රියාජ් බදියුදීන් නිදහස් කිරීම අතර සහ සම්බන්ධයක් ඇති බවය. වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඒ බව පැහැදිලි කිරීමක් කොමිසමට කළ බවත් ඒ අනුව එම ස්ථාන මාරුවීමට අනුමැතිය ලබාදුන් බවත් කොමිසම පැත්තෙන් කියැවෙති.

ජාතික පොලිස් කොමිසමට වැඩ බලන පොලිස්පතිවරයාගේ පාර්ශවයෙන් සඳහන් කර ඇත්තේ රියාජ් බදියුදීන් නිදහස් කිරීම ගැන අඩුම තරමින් නුවන් වෙදසිංහ  තමාව දැනුවත් නොකළ බවය. එම නිදහස් කිරීම නුවන් වෙදසිංහ  සිදුකර ඇත්තේ හිතු මතේට බව වැඩ බලන පොලිස්පතිවරයා කොමිසමට කර ඇති පැහැදිලි කිරීමෙහි ගැබ්වී ඇති ප්‍රබල කාරණාවකි.

පොලිස් මූලස්ථානය පැත්තෙන් ඇසෙන්නට ඇත්තේ රියාජ් සම්බන්ධයෙන් වූ විමර්ශන අවසන් බවත් ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බැවින් නිදහස් කිරීමට සිදුවන බවත් නුවන් වෙදසිංහ  ඊට දින කිහිපයකට පෙර වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවය.

එහිදී වැඩ බලන පොලිස්පතිවරයාගෙන් නුවන් වෙදසිංහ මහතාට ලැබී ඇති උපදෙස වී ඇතැයි සඳහන් වන්නේ තවදුරටත් විමර්ශන පවත්වන ලෙසත් ඔහුව නිදහස් කිරීම මේ මොහොතේ පවතින දේශපාලන තත්වය හමුවේ එතරම් උචිත නොවන බවත්ය. එහෙත් සිදුව ඇත්තේ එය නොව. ඊට වඩා හාත් පසින්ම වෙනස් වූ කටයුත්තකි. දෙබරයට ගල් ගැසෙන්නේ ඒ නිසාය.

නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා මේ ගැන දක්වන්නේ නිහඬ ප්‍රතිපත්තියකි. ඔහු තවමත් මේ ගැන කට අරින්නට සූදානම් නැත. ඒ ඔහු අතින් යම් වරදක් සිදුවූ නිසාද නැති නම් ඔහු යම් බලපෑමකට හසුවී සිටින නිසාදැයි කියන්නට බැරිය.  එහෙත් වැඩ බලන පොලිස්පතිවරයාද එපා කිව්වේ නම් මෙවැනි සුවිශේෂී රැඳවියකු නිදහස් කිරීමට තරම් හිතුවක්කාරකමක් නුවන් වෙදසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එන්නේ කෙසේදැයි යන්නද විමසිල්ලට බඳුන් කළ යුතු කරුණකි.

වෙදසිංහ පත් වූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස නුවන් වෙදසිංහ   පත්වන්නේ ඉකුත් ජනවාරියේය. අපරාධ විමර්ශනයේ නමක් දිනා සිටි නිලධාරියෙක් වන නුවන් වෙදසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස වැඩ භාර ගන්නා විට බොහෝ අය සිතුවේ එහි විශාල පරිවර්තනයක් සිදුවනු ඇති බවය. එම පරිවර්තනය සිදුවූයේද නැද්ද යන්න බව කියන්නට හැකියාව තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම නිලධාරීන්ට පමණි.

කෙසේ වුවද  ඔහුගේ පැමිණිමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවත් ඉහළ තනතුරක් වූ අධ්‍යක්ෂක තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්නට නම් ස්ථාන මාරුවක් ලැබුණි. ඒ ඇමති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂක ලෙසිනි. තිලකරත්න  වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ   ජනාධිපතිවරයාව සිටිය දී ඔහුගේ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂකවරයාව සිටි නිලධාරියාය. එසේම වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂකවරයෙක්ව සිටිය දී ඔහුගේ ආරක්ෂාව සම්බන්ධීකරණය කළේද ඔහුය. ජනාධිපතිවරණයෙන් පසු එතෙක් කලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි ශානි අබේසේකරට ස්ථාන මාරුවක් ලබාදෙමින් ඒ තැනට පත්කෙරන්නේ තිලකරත්නවය. ඒ  2019 වසරේ නොවැම්බර් 23 වෙනිදාය.

තිලකරත්න  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්වීම් ලබද්දී බොහෝ අය සිතුවේ දේශපාලන ප්‍රතිවිරුද්ධකරුවන් දඩයම් කිරීමේ අරමුණින් තිලකරත්න ට එම පත්වීම ලබාදී ඇති බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩි පිරිසක්ද සිතුවේ එසේමය. එහෙත් සිදුවූයේ හාත් පසින්ම වෙනස් වූවකි. ඔහු පවතින විමර්ශනවලට බලපෑම් කරන්නට ගියේ නැත. හරි දේ කරන ලෙස නිරන්තරයෙන් නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වැරදි අත්අඩංගුවට ගැනීම් වලට ඉඩ නොතබමින් ඔහු නිලධාරීන්ව මෙහෙයවන්නට ගත්තේය. කෙසේ වුවද තිලකරත්න  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විසිවී යන්නේ ඉකුත් මැයි 23 වෙනිදාය.

ඩබ්ලියු. තිලකරත්න සී.අයි.ඩී යෙන් විසිවෙන්නේ ඇයි?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු මගින් දැන ගන්නට ඇති ආකාරයට අනුව තිලකරත්න   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විසිවන්නට මුල්වන ප්‍රධාන හේතුව වන්නේ රියාජ් අත්අඩංගුවට ගැනීමය. රියාජ් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස තිලකරත්නට එකල දිගින් දිගටම බලපෑම් එල්ලවී ඇත්තේ ඔහුට වඩා ඉහළින් සිටින නිලධාරීන්ගෙනි. එහෙත් ඔහු තමා යටතේ සිටි පහළ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් ඒ කිසිවෙකුත් අත්අඩංගුවට නොගන්නා ලෙසිනි. මේ තත්වය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයන් අතර ඇතිව තිබෙන්නේ මත ගැටුමකි. රියාජ් අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ එම මත ගැටුම අතර තුරදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු මගින් දැන ගන්නට ඇති ආකාරයට අනුව එදා අප්‍රේල් 14 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ   පොලිස් අධිකාරීවරුන් තිදෙනෙක් කැඳවා පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ලෙස නම් කළ පුද්ගලයින් 17 දෙ‍නෙකුගේ ලැයිස්තුවක් ඒ අයට පෙන්වමින් සඳහන් කර ඇතැයි පැවසෙන්නේ ඔවුන්ව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය. එම 17 දෙනාම අත්අඩංගුවට ගැනීමට හැකියාව එම නිලධාරීන්ට නොවූවත් ඒ අයගෙන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදුන් නියෝග අනුගමනය කරමිනි. රියාජ් සිටියේ ද එම 17 දෙනාගේ ලැයිස්තුවේය. ඊට අමතරව රියාජ්ගේ රියදුරාද, ප්‍රසිද්ධ නීතීඥවරයෙක් වූ හිජාස් හිස්බුල්ලාද සිටියේය.

කොවිඩ් 19 වසංගතය දරුණුවටම පැවැති වකවානුවේදී සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම ගැන කොවිඩ් අවදානම ගැනද නොසලකා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න   විසින් මාධ්‍ය හමුවක්ද පවත්වමින් රටටම කියන්නේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිටය. ඉන් එහාට යමින් පුද්ගලික රූපවාහිනී නාලිකාවක සජීවි වැඩසටහනකටද සම්බන්ධ වෙමින් පැයක් තිස්සේම ඔහු රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම ගැන ඔහුට ඇති චෝදනා ගැන ලොකු කථාවක් කීවේය.

ජාලියගේ මාධ්‍ය රංගනය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රූපවාහිනී තිරය දෙස බලාගෙන විශ්මිතව ඒ කථාවට ඇහුම්කන් දුන්නේ මාධ්‍ය ප්‍රකාශකවරයා රියාජ් බදියුදීන් ගැන කියන්නට වූ ඒ කිසිවක් විමර්ශන වලින් ඒ වන විටත් අනාවරණය නොවී තිබුණු බැවිනි. තවදුරටත් ජාලිය සේනාරත්න මහතා විසින් කරනු ලබන එම ප්‍රකාශයන් අසා සිටීමට නොහැකි වූ තැන විමර්ශන භාර පොලිස් නිලධාරියෙක් තරහෙන් පුපුරමින් ගොස් මුණ ගැසෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාවය. ඒ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විමර්ශනයේදී හෙළි නොවූ තොරතුරු ගැන කරන ප්‍රකාශ ගැන පැමිණිලි කරන්නටය. ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිවක් කරන්නට තරම් ඒ වන විට අධ්‍යක්ෂකවරයා බල සම්පන්න නොවීය. ඒ ඔහුට ඉහළින් සිටි නිලධාරියෙකුගේ තොරතුරු පදනම් කරගෙන ජාලිය සේනාරත්න එම ප්‍රකාශයන් කරන්නට වූ බැවිනි.

රියාජ් අත්අඩංගුවට ගැනීම ගැන එදා ජාලිය සේනාරත්න කළ ප්‍රකාශයේ ඇත්ත නැත්ත එළියට එන්නේ දැන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු මගින් දැන ගන්නට ඇති ආකාරයට අනුව රියාජ්ව අත්අඩංගුවට ගැනීමට මුල්වී ඇති ආසන්නතම සිදුවීම වන්නේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරුණු ප්‍රහාරයක් එල්ලකල ඉන්ෂාඩ් අහමඩ් නැමැති වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු සමග ඔහු දුරකතන සංවාද හයක් පවත්වා තිබීමය. එම දුරකතන සංවාද 06 න් 05 ක්ම ඉන්ෂාඩ් අහමඩ් විසින් රියාජ් ට ලබාගත් ඒවාය. රියාජ් ඔහුට ලබාගෙන ඇත්තේ එක් ඇමතුමක් පමණි. එම ඇමතුම් 06 න් දෙකක් ලබාගෙන ඇත්තේ ඉකුත් පෙබරවාරි 26 සහ 27 වෙනිදාය. සෙසු ඇමතුම් සියල්ලක්ම ලබාගෙන ඇත්තේ මාර්තු මාසයේ මුල් සතියේදීය.

පොලීසියේ  නිල ප්‍රකාශ උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබුනේ රියාජ් සහ බෝම්බකරු හෝටලයකදී හමුවී ඇති බවට පවා තොරතුරු විමර්ශන වලින් හෙළිවී ඇති බවය. එහෙත් එවැන්නක් නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් අදටත් හෙළිවී නැත. සිදුව ඇත්තේ දුරකතන කුළුණු විශ්ලේෂණයේදී ශාලිමාර් හෝටලය ආසන්නයේ ඇති දුරකතන කුළුණකින් සංඥා හුවමාරුවීමකි. මාධ්‍යට එය එන්නේ හෝටලයකදී ඔවුන් හමුවී ඇති බවටය.

රියාජ් සහ සිනමන් බෝම්බකරු

රියාජ් බදුර්දීන් සහ බෝම්බරු දන්නා කියන පුද්ගලයින්ය. ඒ අයට දුරින් ඥාති සම්බන්ධයක්ද පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් පෙනී ගොස් ඇත. එහෙත් අදාල සැකයට තුඩුදුන් දුරකථන ඇමතුම්වලට හේතු පාදක වී ඇතැයි විමර්ශන වලින් හෙළිවන්නේ බොම්බකරුගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවෙදී ඉන්දියාවෙන් ලද ඇනවුමකට අනුව නිෂ්පාදනය කළ මිලි මීටර් 06 සහ මිලි මීටර් 08 තඹ කම්බි අපනයනයට අනුමැතිය හිමි නොවීම සම්බන්ධයෙන් එවකට කර්මාන්ත ඇමතිව සිටි රිෂාඩ් බදියුදීන්   සම්බන්ධකර ගැනීමටය. එහෙත් එම අනුමැතිය ඔහුට ඇමතිවරයාගෙන් නොලැබීම හේතුවෙන් මාර්තු මුල් සතියේ අමාත්‍යාංශයට පැමිණ කෑකෝ ගසා පිටව ගොස් ඇත්තේ තඹ අපනයනයට අවසර නොදීමට එරෙහිව නඩු පවරන බවට අමාත්‍යාංශයේ නිලධාරීන්ට තර්ජනයක්ද කරමිනි.

ඒ අනුව අමාත්‍යාංශයට ඔහු විසින් එන්තර වාසියක්ද එවා ඇති අතර එම එන්තර වාසියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයින් විසින් සොයාගෙන තිබී ඇත. රියාජ් ඒ වන විට භාවිතා කර ඇත්තේ සිය රියදුරාගේ නමින් මිලදී ගත් සිම් කාඩ් පතකි. රියදුරාව අත්අඩංගුවට ගෙන ඇත්තේ එබැවිනි. රියදුරාගේ නමින් ඇති සිම්පතක් තමා එම දිනවල භාවිතා කළ බව රියාජ්ද පැවසීම හේතුවෙන් මුලින්ම නිදහස් කර ඇත්තේ ඔහුවය. එම සිම්කාඩ්පත යෙදූ දුරකතනයට විටින් විට දමා පරිහරණයකර තිබුණු සිම්කාඩ්පත් ගණනද 14 කි. රියාජ් සහ බෝම්බකරු අතර පැවැති උපරිම දුරකතන ඇමතුම පවා තත්පර 90 ට එහා ගොස් නොතිබුණු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී ගොස් තිබුණි.

රියාජ් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ ගැන අධිකරණයට කරුණු වාර්තා කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන නොතිබුණි. ආරක්ෂක ලේකම්වරයාගෙන් ඔහුව රඳවාගෙන පරීක්ෂණ පැවැත්වීමට මාස 03 කට රඳවා ගැනීමේ නියෝගයක් ලබා ගත්තේය. එම කාලය අවසන් වන විට තවත් මාස තුනක් එය දීර්ඝ කර ගන්නේ ලබන ඹක්තෝම්බර් 14 වෙනිදා දක්වාය. හොර රහසේ  රියාජ්ව නිදහස්කර යවන්නේ එම රඳවා ගැනීමේ කාලය අවසන්වන්නටත් මත්තෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව රියාජ් සම්බන්ධයෙන් කළ විමර්ශනයට අදාලව ප්‍රකාශ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 250 කට වැඩිය. ඒ අයගෙන් මතුවන කාරණා ද සමග රියාජ්ගෙන් ලබාගෙන ඇති ප්‍රකාශ ගණන 35 කට කිට්ටුය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් කියැවෙන ආකාරයට මේ කළ කිසිදු පරීක්ෂණයකින් පාස්කු ප්‍රහාරයට අදාලව රියාජ්ට එරෙහිව චෝදනා ගොනු කරන්නට තරම් සාක්ෂියක් අනාවරණය වී නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව රියාජ් සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමාර කරන්නේ ඉකුත් සැප්තැම්බර් මසය. ඒ විමර්ශන ගොනු බලධාරීන්ට බාර දෙමිනි. ආන්දෝලනයට කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකර රියාජ් බදියුදීන්ට නිදහස උරුම වන්නේ ඒත් එක්කමය.

Exit mobile version