අත්පය ගැට ගසා දියට දමා පිහිනන්න උපදෙස් දෙන්න එපා… බෙදුම්කරුවෝ ඉන්ධන බලධාරීන්ට කියති!

ඇමති ඉදිරිපත් කරන්නේ  27 සිට 31 තෙක් ඇනවුම් ඉදිරිපත් නොකළ බෙදා හරින්නන් මිස ඉන්ධන අලෙවියෙන් ඉවත් වූ බෙදුම්කරුවන් නොවෙයි! බෙදුම් කරුවන්ගේ සංගමය කියයි!

කීර්ති ප්‍රනාන්දු –

විදුලිබල හා බලශක්ති ඇමතිවරයා සිය ට්විටර් ගිනුමෙන් පල කර ඇත්තේ 27 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළ ඉන්ධන ඇනවුම් නොකළ ඇනවුම් කරුවන් මිස ඉන්ධන අලෙවියෙන් බැහැර වූ අලෙවි කරුවන් නොවන බව ඛණිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඔවුන් ඛණිජතෙල් බලධාරින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ අතපය බැඳ දියට දමා පිහිනීම සඳහා උපදෙස් නොදෙන ලෙසය.

එහි ප්‍රකාශකයෙක් ලංකාසරට කළ විමසීමක දී පැහැදිලි කළේ ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ බෙදුම්කරුවන්ගේ ලයිස්තුවේ   බොහෝ අලෙවිකරුවන් 26 වැනිදා සිය ඇනවුම් සම්පූර්ණකරත් ග්‍රාමීය ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යන බෙදුම් කරුවන් බවය.

ඉන්ධන ටැංකිවල තිබුණාද, තොග පවත්වා නොගත්තේ ද යන්න උක්ත ඇනවුම් ඉදිරිපත් නොකිරීමෙන් සනාථ නොවන බව කී ඔහු චෝදනාවට ලක්වූ  බෙදුම්කරුවන් අතර සිටින්නේ  කොළඹ නගරයේ එක් බෙදුම්කරුවෙක් පමණක් බවත් , ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රශ්න කරන බෙදුම්කරුවන් හය දෙනාම  ඉල්ලුම අඩු  ග්‍රාමීය ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යන අය බවත්ය.


ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ඉන්ධන පිරවුම්හල් 400කට වැඩි ප්‍රමාණයක් ඇති බව ඔහු සිහිපත් කළේය.

මේ අතර අද (05) රැස් වූ ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ විධායක කමිටුව ලිඛිතව දන්වා සිටින්නේ   පසුගිය දිනවල සිදුවු ඉන්ධන හිඟය සම්පූර්ණයෙන්ම බෙදුම්කරුවන් වෙත ලඝු කිරීමට අමාත්‍යවරයා  සහ සංස්ථාව දරන උත්සාහය නිවැරදි නොවන බවය.

ඔවුන් දන්වා සිටින්නේ පෙර පරිදිම COD පහසුකම ලබාදී  බෙදුම්කරුවන්ට අවශ්‍යතාව මත ඉන්ධන ඇනවුම්  කිරීමේ අවස්ථාව ලබාදී ටත් සංස්ථාවට හැකිනම් මෙවැනි හිඟයක් ඇති නොවන බවය.

රටේ ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ බෙදුම් කරුවන්ගේ  බැංකු පහසුකම් සීමාකිරීම නිසා සීමාසහිත ඇනවුම් ඉදිරිපත් කිරීමට සිදුවීම,  බොහෝ දෙනෙකු   ලබාගෙන ඇති ණය පහසුකම් ප්‍රතිව්‍යුහගත කරන ලෙස මහ බැංකුව නිර්දේශ කර තිබුණ ද  මෙතෙක් එම පහසුකම් බැංකු විසින් සලස්වා  නොතිබීම මෙන්ම,    සංස්ථාව විසින්ම පසුගිය දිනවල මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම මත මහජන බැංකුව සමග ගිණුම ගත කළ  බෙදුම්කරුවන්ට  ලබා දී තිබූ තාවකාලික අයිරා පහසුකම් ඇතුලු අනෙකුත් පහසුකම් සීමා  වීම සම්බන්ධව කිසිවෙක් අවධානය යොමු නොකර මෙවැනි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීම අසාධාරණ බව ද  බෙදුම්කරුවෝ කියති.

බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව   විසින්ම පෙ.ව 10.30ට පෙර ඇණවුම සඳහා මුදල් තැන්පත් කිරීමට සහ එම ඇනවුම ඊට පෙර දින ප්‍රාදේශීය කාර්යාලය හරහා අනුමත කරගැනීමට  නීති පනවා තිබීම හරහා සිදුකරන්නේ   බෙදුම්කරුවන්ගේ  දෙඅත් සහ දෙපා ගැටගසා දියට දමා පිහිනන්නට උපදෙස් දීමක්    බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බෙදුම්කරුවන්ගේ සංගමය යෝජනා කරන්නේ මේ පිළිබඳව යම් තීරණයක් ගැනීමට පෙර තම සාමාජිකයන් මුහුණ දී ඇති ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන විසඳුමක් ලබාදීම යෝග්‍ය බවය.

 

Exit mobile version