අගමැති තිරුපති ගිය නිල් පාට ජෙට් එක කළු සල්ලි සුදුකළ ලකුණක් ද?.   පෙරටුගාමීන් අසයි!

තාත්තට තිරුපති යන්න පුද්ගලික වියදමින් කෝටි තුනයි කාලක් වියදම් කර ජෙට් එකක් හයර්කළ කෙනා  ගැනත් යෝෂිතගෙන් අසයි ...

රටේ විදේශ විනියම අර්බුදයක මාරාන්තිකව ගිලී ඇති අවස්ථාවක පැය 24ක් සඳහා ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ හැට දහස් අටසියයක් පමණ ( රුපියල් තුන්කෝටි විසි හය ලක්ෂ විසි හය දහසක් ) ගුවන් යානයක් සඳහා පමණක් වියදම් කළ අගමැතිවරයාගේ  තිරුපති ගමන ගැන මීට වඩා පුළුල් පැහැදිලි කිරීමක් රටට අවශ්‍ය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (28) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේය.

පුබුදු ජයගොඩ

මෙම වර්ගයේ ගුවන් යානයක් පැයක් වෙනුවෙන් කුලියට ගැනීම සඳහා දැරිය යුතු වියදම ඇමරිකානු ඩොලර් හයදස් හත්සියයක් බවත් තිරුපති ගමනට පෙර රත්මලාන ගුවන්තොටුපලේ සිට කොචින් සහ චෙන්නායිවෙත මේ යානය දෙවරක් ගමන් කර ඇති බවත් පවසන අධ්‍යාපන ලේකම්වරයා දැන් යෝෂිත රාජපක්ෂ කියන “ තාත්තාගෙ යාලුවෙක් සල්ලි දුන්නා“ වැනි “ ඩේසි ආච්චිගේ මැණික්මල්ල “ පන්නයේ කතා නොකියා මේ ගමන්වල නිශ්චිත හෙළිදරව්වක් රටට අවශ්‍ය බව කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අගමැතිවරයා තිරුපති ගිය ලිගසි 600 ( legacy – 600) වර්ගයට අයත්  T7JSG ගුවන් යානයේ ගුවන් ගමන් දත්ත වාර්තා ඉදිරිපත් කරමිනි. මෙම යානය කළු සල්ලි සුදු කළ එකක් දැයි ප්‍රශ්නයක් මතුවන බවත් එහි හිමිකාරිත්වය පිළිබඳව ද ගැටලු ඇති බවත්  ඔහු පැවසුවේය.

පුබුදු ජයගොඩ මෙසේ ද පැවසුවේය.


“ලිගසි 600 ( legacy – 600) වර්ගයට අයත්  T7JSG කියන මේ ගුවන් යානයේ ගුවන් ගමන් සිද්ධවුනේ මෙහෙමයි.

මේ ගුවන් යානය පසුගිය 10 වැනිදා ඉන්දියාවේ සිට කටුනායකට ඇවිත් තියනවා. 10 වෙනිදා කටුනායක සිට ගිහින් තියනවා   කෙන්යාවේ ජෝමෝ කෙන්යාටා ගුවන් තොටුපලට. “

“පසුගිය 14 දා ජෝමෝ කෙන්යාටා ගුවන් තොටුපලේ සිට     කෙන්යාවෙ බුකෝබා ගුවන්තොටුපලටත් එතැන් සිට ටැන්සානියාව දක්වාත් පිටත් වෙලා තියනවා.“

“15 ටැන්සානියාවේ සිට කම්පාලා බලා පිටත් වෙලා කම්පාලාවල ඉඳලා රත්මලානට ඇවිත් තියනවා. 16 දා රත්මලානට ආවට පස්සේ දෙසැරයක් කොචින් සහ චෙන්නයි බලා ගුවන් ගමන් පිටත්වෙලා තියනවා. පිටත්වෙලා නැවත ලංකාවට ඇවිත් තියනවා. ඊට පස්සේ 23 දා තිරුපති දක්වා යන්නේ. ඊට පස්සෙ 24 වැනිදා නැවත ලංකාවට එනවා. ඇවිත් 27 දා දිල්ලියේ ඉන්දිරාගාන්දි ගුවන්තොටුපල දක්වා ගිහින් තියනවා.“

“අගමැති ගේ දෙවැනි පුතා යෝෂිත රාජපක්ෂ දිනපතා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා මේ සම්බන්ධව මුදල් වැය වුණේ නෑ.  අගමැතිවරයාගේ මිතුරෙක් තමයි මුදල් දුන්නෙ කියලා. “

කවුරු දුන්නත් විනාශ වෙන්නෙ විදේශ විනිමය. ඒක වෙනම ප්‍රශ්නයක්. මෙතන ප්‍රශ්නයක් තියනවා. ලංකාවෙ ඉඳන් කොචින් සහ චෙන්නායි බලා ගිය අය කවුද?. ඔවුන් මේ ගුවන් යානාවල මොනවද අරන් ගියේ. කවුද ඒ පිරිස. මේ වගේ ගුවන් යානයක යන්න පුලුවන් ඉතාම ලොකු ධනපතියෙකුට විතරයි.

මේ වර්ගයේ ලිගසි 600 (  legacy – 600 ) වර්ගයේ ගුවන් යානයක් පැයකට ලබා ගැනීම සඳහා ඩොලර් 6700ක් යනවා. මේ පැය විසි හතරෙ ගමනක් සඳහා කොතරම් මුදලක් වියදම් වෙනවාද කියලා ඉතාම පැහැදිලියි.  ලංකාවේ රුපියල් මිලියන 32ක් ( තුන් කෝටි විසි ලක්ෂයක් ) මේ සඳහා වියදම් වෙනවා. මෙවැනි වියදමක් දරලා චෙන්නයිවලට කොචින්වලට ගිය වෙන අය කවුද කියලා සොයා බැලිය යුතුයි.

“අගමැතිවරයා මෙතරම් විශාල වියදමක් කළේ ඇයි සාමාන්‍ය මගී ගුවන් යානයක ඉන්දියාවට යන්නට පුලුවන්කම තිබෙද්දි…

මේ ගුවන් යානය ජෙට්සෙට්ගෝ ඒවියේෂන් ප්‍රයිවට් ලිමිටඩ් (JetSetGo Aviation Services Private Limited) කියන ඉන්දියානු සමාගමට අයත් එකක් කියලයි ප්‍රකාශයට පත්වෙලා තියෙන්නෙ. ඔවුන් ලෝකයේ ඉහළම ධනවතුන් සඳහා ගුවන්ගමන්වලට පෞද්ගලික ජෙට් යානා සහ ගුවන් යානා සපයන සමාගමක්. ඒ අයගෙන් තමයි මේක අරගත්තා කියලා තියෙන්නෙ.“

“නමුත් මේ සමාගමටම ද මේ  ගුවන් යානය අයිති කියන එකේ අර්බුද ගාණක් තියනවා. එකක් T 7 කියන සංඥා නාමය එන්නේ මේ යානය සැන් මැරීනෝවල ලියාපදිංචි කළාට පස්සේ කියලා අපට තොරතුරුවලින් ප්‍රකාශ වෙලා තියනවා.  සැනි මැරීනෝ කියන්නෙ යුරෝපයේ තියන කුඩාම රාජ්‍යයන්වලින් එකක්.  නමුත් මේ රට ජනප්‍රිය වෙලා තියනවා කළු සල්ලි සුදු කරන තැනක් විදිහට. මේ ගුවන් යානය එවැනි කළු සල්ලි සුදු කිරීමේ ප්‍රතිඵලයක් ද කියන සැකය එක අතකින් මතුවෙනවා.“

“යෝෂිත රාජපක්ෂ ඇවිත් තාත්තගෙ යාලුවෙක් සල්ලි දුන්නා වගේ කතා කියන්නෙ නැතිව, මීට කලින් කිව්ව ඩේසි ආචිච්ගෙ මැණික්මල්ල වගේ කතා කියන්නෙ නැතිව මේ සම්බන්ධව මීට වඩා පුළුල් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයයි.

කියවන්න…

අගමැති වන්දනාවේ ගිය සැප ජෙට් එක යාලුවෙක් නොමිලේ දීලා!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගමැති නිල් පාට පුද්ගලික ජෙට් එකකින් තිරුපති ගිය හැටි පෙරටුගාමීන් කියයි!

Exit mobile version