අගමැති අනඳ නාහිමි කුලපති උපහාර පුදයි

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබු නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේට උපහාර පිදීමේ “අනද නාහිමි කුලපති උපහාර” උළෙල අද (08) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම උපහාර උළෙල සංවිධානය කර තිබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහි දී “අනද නාහිමි කුලපති උපහාර”ය නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේට පිරිනමන ලදි.


එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද එක්ව සිටියේය.

“ශ්‍රී ලංකා ඉතිහාසයේ බොහෝ අවස්ථාවන්හි ජාතික ප්‍රශ්න සහ ව්‍යසන හමුවේ මහා සංඝරත්නය පෙරමුණ ගත් බව ඉතිහාසය සාක්‍ෂි දරනවා. ඒ නිසාම අපේ නායක හාමුදුරුවන්ට පුදන මේ උපහාරය ඒ ඉතිහාසයේ තවත් එක් දිගුවක් හැටියට සළකන්න පුළුවන්. මෙරට ජාතික ගැටලුවල දී පෙරමුණ ගනිමින් පරිත්‍යාගශීලීව කටයුතු කළ තෙර නමක් හැටියට අපේ ස්වාමීන්වහන්සේ ඉතිහාසයට එක්වෙනවා. එම ජාතික ප්‍රශ්න ගැටලු හමුවේ උන්වහන්සේ නොසැලී ක්‍රියා කළා. ඒ වගේම වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙරට ආ අවස්ථා එමටයි කියලා කිව්වොත් එය නිවැරදියි. එය අවසානයේ දැවැන්ත ප්‍රතිඵල ලබන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කරන්නත් සෘජු අදහස් ඔස්සේ සටන්කර ජයග්‍රහණයෙන් අවසන් කිරීම ගැන අප කාටත් තිබෙන්නේ ගැඹුරු ආඩම්බරයක්. විශේෂයෙන් හෙද සේවයේ උන්නතිය ඇතුළු මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට උන්වහන්සේගෙන් ලැබෙන අවවාද අනුශාසනා වඩා වැදගත්වන අතර එය සාධනීය සෞඛ්‍ය සේවාවක් උදෙසා ද වැදගත් වී ඇතැයි” අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතා මෙහි දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේගේ ජීවන දර්ශනයට අදාළව ආරාධිත දේශනය පැවැත්වීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ගරු සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ මෙහි දී පුණ්‍යානුමෝදනාවක් ද පැවැත්වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මෙම උත්සව සභාව ආලෝකමත් කරන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි පැමිණියේ තවත් උත්සව ගණනාවක් අවලංගු කරලා. එදා අභයාරාමයට බෝම්බ ගහපු වෙලාවේ දී අග්‍රාමාත්‍යතුමා විහාරස්ථානයට ඇවිල්ලා අපි ගැන සොයා බලපු එක කවදාවත් අමතක කරන්න බැහැ. ඔබතුමා අද දිනයේත් මේ කළ උපහාරයට ගෞරවයට අප සංගමය විශේෂ ස්තුතියක් පිරිනමන්න කැමති”යැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ පැවසූහ.

Exit mobile version