පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව ඒ කාලයේ පත් කළ පාර්ලිමේන්තු කමිටුව විසින් පුද්ගලයන් පනස් ගණනකින් සාක්ෂි කැඳවා සකස් කළ වාර්තාවත් පුද්ගලයන් හාරසිය පනස් ගණනකින් සාක්ෂි කැඳවා සකස් කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාවත් අතර ලොකු වෙනසක් නැති බවත් ඇති එකම වෙනස හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ත් නීතිය සාමය කටයුතු ඇමති සාගල රත්නායකත් මේ චෝදනාවලින් බේරීම පමණක් බව සමගි ජනබලවේග මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් පමණක් බව මෙයට වඩා වගකිව යුතු ලෙස තමා පාර්ලිමේන්තු කාරක සභාවේ සිටින කාලයේ පිට 65ක වාරතාවක් පෞද්ගලිකව සකස් කළ බවත් පැවසූ ඔහු ඊයේ එම වාර්තාවද සභාගත කළේය.
ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැති පාස්කු ඉරිදි එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී තවදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා ,
“ මෙම ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් කියන ත්‍රස්තවාදියා ලෙස සඳහන් කරල කොලේ වහන්න හදනවා. නමුත් මේකේ මහ මොළකරු සහරාන් නොවන වග දැන් පාර්ලිමේන්තුවේ කවුරුත් මෙන්ම රටේ ජනතාවත් හොඳටම දන්නවා. මම මේ ප්‍රහාරය පිළිබඳව පසුගිය රජය පත් කළ පාර්ලිමේනතු විමර්ෂණ කමිටුවේ හිටියා. ඒ කාලයේ මම පෞද්ගලිකවම මේ වාර්තාව පිළිබඳව පිටු 65ක වාර්තාවක් හැදුවා. අද එය සභාගත කරනවා. මම ඒ වාරතාවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට චෝදනාවක් එල්ල කළේ නෑ. මොකද ආරක්ෂක ලේකම්වරයාට එම තොරතුරු තිබුණත් ක්‍රියාත්මක වෙන්න බලයක් නෑ. සමහරු ඔටුනු දාගෙන හිටියට ආරක්ෂක ලේකම්වරයාට ක්‍රියාත්මක වෙන්න බලතල නෑ. ඔහුට තිබෙන්නේ පරිපාලන බලතල. පාර්ලිමේන්තු කමිටුවේදී අපි සාක්ෂි ගත්තේ 55 දෙනකුගෙන්. නමුත් මේ අවස්ථාවේදී හාරසිය පනස් ගාණකින් සාක්ෂි අරන් කියනවා. අපි දීපු වාර්තාවම තමයි. එකම වෙනස ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන චෝදනා එල්ල කරල තිබුණා. රුවන් විජේවර්ධනලා රාජ්‍ය අරක්ෂක ඇමති රට වටේ හෙලිකොප්ටරේ ගියා ඇරන්න වෙන දෙයක් කළේ නෑ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ප්‍රහාරය පිළිබඳව කලින් දැනුවත්ව නොසිටි බවට කළ ප්‍රකාශ පිළිගන්න බෑ. ඔහු මේ ප්‍රහාරය සිදුවූ පසුවත් ගුවන් යානා දෙකක් මඟ හැර තමයි ශ්‍රි ලංකාවට සිංගප්පූරුවේ සිට පැමිණියේ. අද මේ ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව වගකිව යුත්තා පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළියක ඉඳගෙන ඉන්නවා. ඔහුගේ බෙල්ලලෙන් අල්ලගන්නේ නැතිව නිකං ගිය අපිට මඩ ගසන්න එපා “යයිද පැවසීය.

Exit mobile version