පුරාවිද්‍යා නිලධාරීන්ගේ බරපතල විරෝධය මැද   වසර 350ක් පැරණි ඕලන්ද බඩු ගබාඩව බිඳ  දැමීමට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය අවසර දෙයි….

ජානක ලියනආරච්චි –

පුරාවිද්‍යාව අධ්‍යක්ෂ ජනරාල්වරයා සතු උත්තරීතර වගකීම පිළිබඳ මෙළෝ හසරක් නොමැතිව දේශපාලන අභිලාෂයන් මත පමණක් එම තනතුරේ වැඩ බැලීමට පත් කරන ලද වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහගේ පුද්ගලික අභිලාෂය මත වරාය පරිශ්‍රයේ තිබූ ඕලන්ද යුගයට අයත් වසර 350ක් පැරණි ගැසට් කරනු ලැබූ පුරාවිද්‍යා ස්මාරකයක්වන  පෞරාණික ඕලන්ද බඩු ගබඩාව මේ වනවිට කඩා දමමින් විනාශ කරන බව සංවේගයෙන් ලියා දන්වමු.

බිඳ දමන පෞරාණික ඕලන්ද ගබඩාව…

මෙම ගොඩනැගිල්ල සංරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කර ප්‍රකාශයට පත් කරන්නේ වර්ෂ 1999.06.18 දිනය.

එය ස්මාරක අංක 1085 ලෙස නම් කර තිබිණි. මේ පෞරාණික ගොඩනැගිල්ල විනාශ කිරීම සඳහා ප්‍රදීපා සේරසිංහ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මාර්ග සංවර්ධන අධිකාරියට අවසර ලබා දෙන්නේ පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ  පුරාවිද්‍යා   නිලධාරින්ගේ  බරපතල විරෝධතාවය නොසලකා වීම සැලකිය යුුතුව තිබේ.

එමෙන්ම මෙම ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ එහි වගකීම දරන බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්යාලයට දැනුම් දීමට තරම්වත් ඇය සදාචාර සම්පන්න වී නැත.


සංරක්ෂිත ස්මාරකයක්ව පසුගිය සතිය වනවිටත් පැවති සියවස් තුන හමාරක් පැරණි ඕලන්ද බඩු ගබාඩව…

සංරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකයක් අනීතිකව විනාශ කිරීම අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වුව ද  රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් ඇය මේ අපරාධය කරන්නේ  රැක ගත හැකි පුරාවිද්‍යා ස්මාරකයක් විනාශ කළ ලංකා ඉතිහාසයේ පළමු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසය.

ප්‍රදීපා සේරසිංහ මේ කටයුතු සිදුවන්නේ සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක ජාතික උරුම සංරක්ෂණය සම්බන්ධව ලොරි ටෝක් දෙමින් හතර අතේ ඇවිදින  වකවානුවක ඔහුගේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන්නට හැර වීමත් රටේ අවධානයට යොමු වී තිබේ.

ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාාරකයක් ලෙස ගැසට් කළ ගැසට් පත්‍රිකාව

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය භාර්ය සම්බන්ධ මෙළෝ හරසක් නැති, නිලධාරීන් සමග ශාස්ත්‍රීය ගනුදෙනුවක් කිරීමට පරිචයක් නැති ප්‍රදීපා සේරසිංහ නැමැති මෙම කාන්තාව වැඩ ආවරණය කිරීමට දේශපාලන පත්වීමක් ලෙස පත් කෙරෙන්නේ පසුගිය දා හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි වෙනම නීති රාමුවකින් ආවරණය වන ආයතනයක,  අප වැනි රටක ජාතියේ සමස්ථ හරය රූපණය කිරීමේ වගකීම සහිත ආයතනයක ප්‍රධානියා වීම එම ආයතනය තුළින්ම ලද ශාස්ත්‍රීය හා ප්‍රායෝගික ශික්ෂණය මත සිදුවිය යුතු විය. ආචාර්ය සෙනරත් දිසානායක එම තනතුරේ වගකීම ආවරණය කරන වකවානුව දක්වා ඒ හැඩය පැවතිනි.

ස්මාරකය බිඳ දමන්නට අවසර දුන්නාට ස්තුතියි… මාර්ග සංවර්ධන අධිකාරියෙන් ප්‍රදීපා සේරසිංහට යැවූ ලිපිය…

එහෙත් ඉතිහාසයේ මුල්ම වරට දේශපාලන පත්වීමක් ලෙස මහින්ද රාජපක්ෂ හිටපු අගමැති – සංස්කෘතික ඇමතිගේ අභිලාශය මත මහාචාර්ය අනුර මනතුංග දේශපාලන පත්වීමක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පත් කරනු ලැබුවේය.

ඒ වනවිට එම ධූරය දැරීමට සුදුසුකම් සැපිරූ විද්වත් වෘත්තිකයන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ සිටිද්දී පිටින් ගෙනත් බැස්සවූ ආචාර්ය අනුර මනතුංග තමන් දරන ධූරය දැරීමට වෘත්තීය පෞරුෂයක් නැති බව රටටම පෙන්වා එම තනතුරින් ඉල්ලා අස් වූ පසු එහි වැඩ ආවරණය කරන්නට ආණ්ඩුව පත් කරන දේශපාලන පත්කිරීම ප්‍රදීපා සේරසිංහය.

මේ ගර්හිත දේශපාලනයේ රූකඩ විගඩමක් බවට පත් වී ඇති වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය  සිදුකිරීමට යන මෙම අපරාධය සම්බන්ධව පුරාවිද්‍යා නිලධාරීන් විසින් බලධාරින් මෙන්ම දේශපාලන පක්ෂ ද දැනුම්වත් කළත් මේ වනවිට සිදුවන ව්‍යසනය සිදුවී හමාරව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩේ ඉවරයි… රටේ අපරාධ නීතිය මේ කාන්තාවට ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

 

Exit mobile version