ගෝඨා නැවත එයි!

colum

“සිංගප්පූරැවට දැන් ලී ක්වාන් යු ලා දෙන්නයි. අපිට එකෙක්වත් නැතෝ” කිය කියා තප්පු ලමින් හඩා වැළපෙන විමල් වීරවංශව දැක දුක හිතී ගෝඨාට නැවත ලංකාවට එන්නට සිතුණි යැයි සිතමු.

“තැන තැන රස්තියාදු වෙවී අපිට ලැජ්ජ නොකර ලංකාවට වරෙන්. ගහන්නෑ සත්තයි” කියූ අරගලකරුවන් විශ්වාස කළ ගෝඨා ගුවන්තොටට නාවිකයෙකුසේ ගොඩ බැස්සේය.

ශ්‍රී ලංකන් ගුවන් යානයක ඉකොනොමි ක්ලාස් ටිකට් එකකින් සිංගප්පූරුවේ සිට මෙරටට එන ගෝඨා ආගමන පෝළිමට එන්නේ විදේශිකයකු සේ බොරැ රැවුලක් හෝ හොර පාස්පෝර්ට් සමග නොවේ.


“මේ අපහසු අවස්ථවේ ලංකාවට පැමිණීම පිළිබඳ ඔබට අපගේ හද පිරි ස්තූතිය”

පිළිගැනීමේ නිලධාරිණිය පැවසුවාය. ගෝඨාගේ ඇස් වලට කඳුළු ඉනුණි. ලංකාවෙ මිනිස්සුන්ගෙන් නැවත කවදාහෝ එවැනි ආදරණීය පිළිගැනීමක් ලැබේවි යැයි ඔහු හීනෙන්වත් සිතුවේ නැත. ‘කොයි තරම් අහිංසක ජාතියකටද මම කෙළෙව්වේ’ සිතා ඔහු සිත සංවේගයෙන් පිරැණි.

“මිරිහානට කීයද?”

ගෝඨා කැබ් රථයකට එබී රියදුරාගෙන් ඇසීය.

“තිස් පන් දහක්වත් ගන්න ඕන. කමක් නෑ තිස් දෙදහක් දෙන්නකෝ. සර්ලා ඉතිං පිටරට ඉඳන් ඩොලර් අරන් එන ගමන්නේ”

කැබ් රියදුරා විසුළු මුහුණක් පාමින් කීවේය.

“මොන පිටරටද? මෙහෙන්ම පන්නපු ඩොලර් තමයි මේ”

ලංකාවට ගොඩ බැසි වෙලෙහි පටන් තමාගේ මුවින් සත්‍ය හැර අන් කිසිවක් පිට නොවන වග ගෝඨාට වැටහුණි.

“ඇයි ඔච්චර කැබ් ගණන්?” ගෝඨා බබාසේ තොදොල් වූයේය.

“කොහෙද මුගේ මේ කාලකණ්ණි පාලනය හින්දනෙ ඔක්කොම. මහ භාණ්ඩාගාරේ හින්දුව. මහ බැංකුව හොරා කෑවා. ඩොලර් වාෂ්ප කළා. පෝර ගෙන්නුවේ නෑ. තෙල් නැව් ගිල්ලා”

ගෝඨා ඔහුගේ පන් මල්ලේ තිබූ කුඩා කණ්ණාඩිය ගෙන මුහුණ බැලුවේය. ඔහුට තවමත් ඇත්තේ පරණ මුහුණමය. ඒත් කැබ් රියදුරා අම්මාමෝ නැතිව බනින්නේ වෙන කාටදෝය.

“කවුද දැන් ඔය දේවල්වලට වගකියන්න ඕන?”

ගෝඨා මහත් අපහසුවෙන් ඇසුවේය.

“අපිට නම් ඌ මොකෙක්වත් නෙමෙයි සර්. ඒත් මිනිහා කියන්නේ ඌ තමයි රටේ ජනාධිපති කියලා”

“අම්මපා. මම හිතුවේ ඌ රටින් පැනලා ගියා කියලා”

ගෝඨා සිය සුරතින් තමාගේ කටටම වැරෙන් පහරක් දී ගති.

“පිස්සු ද සර්. කොච්චර කිච වුණත් මූ යන්නෑ. විසි පාරක් පැරදිලත් මූ පක්ෂෙ දාලා ගියේ නෑ. අන්තිමට පක්ෂෙ මූව දාලා ගියා. ඒවගේ තමයි රට මූව දාලා පිටරට ගියත් මූ රට යන්නේ නෑ”

තමා සමාන්තර විශ්වයක ජීවත් වෙතැයි ගෝඨාට දැනෙන්නට විය. කිසිවෙකුත් තමා හදුනන්නේ නැත. ජනාධිපති කමෙන් ඉල්ලා අස්වූ බවට තමා එවූ නීත්‍යානුකූල නොවන ලිපිය ගැන කවුරැත් කතා කරන්නේ නැත.

තමා අනාථ කර ගිය ලංකාව බිඳකදු වෙනස් වී නොමැති වග දුටු ගෝඨාට උපන්නේ අප්‍රමාණ ප්‍රීතියකි. තමා කෙලවූ ආකාරයටම එය තවම තියේ. තෙල් ගෑස් ආහර බෙහෙත් පොළිම් වැඩි දියුණු වී ඇත. රට පුරාම උද්ඝෝෂණය.

තමා තවමත් ලංකාවේ නීත්‍යානුකූල ජනාධිපති බැවින් අය්යාගෙන් එකම එක නූල් සූත්තරයක් උගෙන රාජ්‍ය බලය නැවත පැහැර ගැනීමේ ආසාවක් ඔහුට උපණ.

ගෝල්ෆේස් අරගල භූමිය පසු කරද්දි ගෝඨා කැබ් රියදුරාට කතා කළේය.

“ඔහොම පොඩ්ඩක් නවත්තනවා”

ගෝඨා කැබ් රථයෙන් බැස අරගලකරුවන් අතරට ඇවිද ගියේය. කවුරැවත් ඔහුව පඩේකට මායිම් කළේ නැත. ගෝඨා සුප්‍රකට අරගලකරැවකු අභිමුවට පැමිණියේ ඔහුවත් තමාව හදුනා ගනීවි යැයි සිතාය. එහෙත් අරගල නායකයා ගෝඨා දැක නොදුටුවා සේ සිටියේය. තමාගේ අනන්‍යතාවය වෙන කාට දෝ හිමි වී තිබීම පිළිබඳව මේ වන විට ගෝඨාට අසූහාරදාහට මළපැන තිබූ වග නොකිව මනාය.

“මේ අයිසේ. මම තමයි ගෝඨාභය රාජපක්ෂ. හිටපු ජනාධිපති”

හේ අරගල නායකයාට කීවේය.

“තමුසෙ මොකා වුණත් කමක් නෑ අංකල්. රනිල්ව පන්නන්න ඕන නම් අපිත් එක්ක අරගලයට සෙට් වෙනවා”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බණ්ඩාරනායක පිළිමය යට ගෝඨා තවත් පිළිමයක් බවට පත් වූයේය.

Exit mobile version