එල්.පී.එල්. තුන්වැනි තරගයට වර්ෂාව හරස් වෙයි

ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට අනුව දඹුල්ලට ජය...

සදෙව් රත්නායක –

ලකුණු 196ක ඉලක්කයක් හඹා යමින් සිටි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ඉහළ අහසින් හිටි හැටියේ කඩා පාත් වූ වර්ෂාව ගිල ගත් නිසා ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට අනුව ලකුණු 4ක සියුම් පරාජයක් අත්විඳීමට සිදුවිය. 

කලම්බු කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගාවලියේ පළමු තරගයේදී සුපිරි ඕවරයෙන් අවාසනාවන්ත පරාජයක් උරුම කරගත් කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අද තරගයට එක්වූයේ ජයග්‍රහණයේ දහසක් බලාපොරොත්තු රඳවා ගනිමිනි. එහෙත් ඕවර 9කුත්, පන්දු 4කට පසු පිටියට ඇද හැළුණු වර්ෂාව නිසා ඔවුන්ට සිදුවූයේ පිට පිට දෙවැනි පරාජයට ගොදුරු වීමටය. 

වර්ෂාව ඇද හැලෙන විට කැන්ඩි ටස්කර්ස් පිල කඩුලු 3ක් දැවී ලකුණු 84ක් ලබා සිටි අතර ඔවුන් පසුවූයේ දඹුල්ල කණ්ඩායම ඒ වනවිට ලබා සිටි ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 4ක් අඩුවෙනි. නැවත තරගය ආරම්භ කිරීමට තරම් වර්ෂාව කැන්ඩි ටස්කර්ස් පිලට කාරුණික නොවූ අතර, ඊළඟ තරගය පස්වරු 8.00ට ආරම්භ කිරීමට සූදානම් කරමින් තරගයේ ජය දඹුල්ලට ලබා දුන්නේ තව දුරටත් කාලය නාස්ති කිරීමෙන් ඵලක් නොවන බව දැනගෙනය. 


කාසියේ වාසිය දිනූ කුසල් ජනිත් පෙරේරා පළමුව පන්දු යැවීම තෝරා ගත් අතර අද තරගයට එක්වූයේ විදෙස් ක්‍රීඩකයන් දෙදෙනකු පමණි. ඉර්ෆාන් පතාන් පළමු තරගයේදී ආබාධයට ලක්වීමත්, බ්‍රෙන්ඩන් ටේලර් සහ මුනාෆ් පටේල් තවමත් නිරෝධායන කාලසීමාව පසු කරමින් සිටින නිසාත්, අද තරගයේදී කැන්ඩි කණ්ඩායමට ක්‍රීඩා කළේ ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස් සහ වේගපන්දු යවන නවීන් උල් හක් පමණි. කැන්ඩි කණ්ඩායමේ තවත් විදෙස් ක්‍රීඩකයකු වන පාකිස්තාන ක්‍රීඩක සොහේල් තන්වීර් කොවිඩ් ආසාදිතයකු බවට පත්වීම නිසා කණ්ඩායමෙන් ඉවත්වී සිටී.

නිරෝෂන් දික්වැල්ල සමග දඹුල්ල කණ්ඩායමේ ඉනිම ආරම්භ කළ ඕෂධ ප්‍රනාන්දුට තුන්වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී පාදයේ ආබාධයක් හටගැනීම නිසා පිටියෙන් ඉවත්වීමට සිදුවූයේ ගිලන් මැස්සක ආධාරයෙනි. එම ඕවරයේ සිවුවැනි පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කළ ඕෂධ පස්වැනි පන්දුවට කෙටි ලකුණක් කරා දිව යද්දී මේ පාදයේ ආබාධය ඇති විය. ඒ වනවිට ඔහු ලකුණු 10ක් ලබා සිටියේය. පිටියෙන් ඉවත්වූ ඕෂධ පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබා රෝද පුටුවක ආධාරයෙන් නැවත ක්‍රීඩා විවේකාගාරයට පැමිණි අතර, ක්‍රීඩා කිරීමට තරම් සුවයක් ලබා නොතිබිණි. 

අනතුරුව පළපුරුදු පිතිකරු උපුල් තරංග සමග එක්වූ දික්වැල්ල මුළු ලකුණු සංඛ්‍යාව 53 දක්වා ඉහළ දැමූ  අතර අසේල ගුණරත්නගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ගුර්බාස් අතට උඩපන්දුවක් දෙමිනි. පන්දු 18කින් ලකුණු 25ක් රැස් කළ දික්වැල්ලත්, පන්දු 18කින් ලකුණු 18ක් ලැබූ උපුල් තරංගත් පිටියෙන් ඉවත්වෙද්දී මුළු ලකුණු සංඛ්‍යාව 64ක් විය. 

තරගයට යම් ජීවයක් ලැබුණේ නායක දසුන් ශානකගේ පැමිණීමත් සමගය. ඔහු සමිට් පටේල් සමග එක්ව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ පන්දු යවන්නන්ට දිගට හරහට පහර දුන් අතර මුළු ලකුණු සංඛ්‍යාව 191 දක්වා ඉදිරියට ඇදගෙන ගියේ තුන්වැනි කඩුල්ලට ලකුණු 127ක සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි. යොවුන් පන්දු යවන්නකු වූ කවිෂ්ක අංජුල දැඩි ප්‍රහාරයට ලක් කළ දසුන් ශානක ඉනිම නිමාවීමට පන්දු 3කට කළින් දැවී ගියේ වේගවත් ලකුණු 73ක් රැස් කරමිනි. පන්දු 37කට පමණක් මුහුණ දුන් දඹුල්ල කණ්ඩායමේ නායකයා හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් එල්ල කළ අතර ඔහුගේ පිතිහරඹයෙන් දිරියක් ලැබූ සමිට් පටේල් ද ඊට නොදෙවෙනි පිතිහරඹයක නිරතව පන්දු 38කින් ලකුණු 58ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ හයේ පහර 2කින් අලංකාර විය. 

කැන්ඩි කණ්ඩායම සහභාගි වූ පළමු තරගයේදිත් ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කළ ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස් අද තරගයේදිත් නායක කුසල් ජනිත සමග ඉනිම ආරම්භ කරමින් පන්දු 18කින් ලකුණු 30ක් රැස් කිරීමට සමත් විය. පළමු තරගයේදී විශිෂ්ට පිතිහරඹයක් පෙන්නුම් කළ නායක කුසල් ජනිත්ට අද තරගයේදී ලකුණු 4කට වඩා රැස් කිරීමට නොහැකිවූයේ අන්වර් අලීගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දීම නිසාය. 

ගුර්බාස් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 50ක් වෙද්දීය. අනතුරුව කුසල් මෙන්ඩිස් සමග කමිඳු මෙන්ඩිස් එක්විය. මෙන්ඩිස්ලා දෙදෙනාම වේගයෙන් පන්දුවට පහරදීමට රුසියෝ වූහ. මින් පළපුරුදු පිතිකරු වූ කුසල් මෙන්ඩිස් වගකීම කරට ගෙන තරගයේ ජයග්‍රහණය දක්වා කණ්ඩායම රැගෙන යාමේ බලාපොරොත්තුවෙන් පසුවූ අතර, ඉතා සාර්ථකව පන්දුවට මුහුණ දෙමින් සිටියේය. එහෙත් 9 වැනි ඕවරය යැවූ ළහිරු මධුසංඛ සිවුවැනි පන්දුවෙන් කමිඳු දවාගැනීමත් සමග ලකුණු ලැබීමේ වේගය යම් තරමකින් අඩාල වූ අතර එසේ නොවූවානම් වර්ෂාව නිසා ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය කරළියට පැමිණෙද්දී දඹුල්ල කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටීමට ඔවුන්ට හැකියාව තිබිණි. 

වර්ෂාවට පෙර කුසල් මෙන්ඩිස් මුහුණ දුන් සමිට් පටේල්ගේ දහවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට හයේ පහරක් එල්ල කළ අතර පන්දු 26කින් ලකුණු 34ක් ලබා සිටියේ හතරේ පහර  2ක් සහ හයේ පහර 3ක් සමගිනි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගයේ වීරයා සම්මානය ජයග්‍රාහී දඹුල්ල වයිකින් කණ්ඩායමේ නායක දසුන් ශානකට හිමිවිය. 

 

Exit mobile version